free counter statistics

සුඛෝපභෝගී හෝටලයක් වූ පස්යාලේ නුගදොල වලව්ව

person

මෙම වලව්ව ඉදිකරන ලද්දේ වර්ෂ 1938 සහ 1942 අතර හිල්ඩා ඔබේසේකර මහත්මිය සහ පෝල් එඩ්වඩ් පීරිස් සමරසිංහ සිරිවර්ධන හෙවත් පෝල් ඊ පීරිස් (1874-1959) දෙපල විසිනි. පෝල් ඊ පීරිස් සහ හිල්ඩා ඔබේසේකර යුවලට දරුවන් සතරදෙනෙකි. ඔවුන් නම් පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල (ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ 1939-1963, කලා අංශයේ පීඨාධිපති විද්‍යෝදය විශ්ව විද්‍යාලය 1961-1964, ) රැල්ෆ් දැරණියගල ​​(නීතිඥ) සහ චිත්‍ර ශිල්පී ජස්ටින් පීරිස් දැරණියගල සහ එකම දියණිය මීරියම් පීරිස් දැරණියගලය.ඇයද දක්ෂ චිත්‍ර ශිල්පිණියකි.

සුප්‍රකට දානපතිනියක් වූ ඔබේසේකර මහත්මිය පිය පාර්ශවයෙන් උරුමවූ පස්යාලේ නුගදොල වතුයායේ මෙම අද්විතීය ගොඩනැගිල්ල ඉදිකොට ඇත.පස්යාල අත්තනගල්ල මාර්ගයේ පස්යාල හන්දියේ සිට අත්තනගල්ල දෙසට මද දුරක් යනවිට වම් පස මෙම වලව්වේ පිවිසුම් මාර්ගය හමුවෙයි.අතීතයේ අක්කර සිය ගණනක වතුයායක් ලෙස මහපාරෙන්ම පිවිසුම් මාර්ගය යෙදී තිබුනද මේ වනවිට ඉඩම් කට්ටි බෙදී කන්ද මුදුනේ අක්කර 37කට ආසන්න ඉඩමකට මේ වලව්ව සීමාවී ඇත.

පිවිසුම් මාර්ගයේ මදක් දුර යනවිට කන්දක් හමුවන අතර දෙපස නාගස් සිටුවා ඇත.නාගස් වැවී ඇති ඝනත්වය හේතුවෙන් මෙම මාර්ගයේ දහවලද යම් අඳුරක් මෙන්ම සීතලක්ද පවතී.මේ හේතුවෙන්ම මේ වලව්වට "නාවැටිය වලව්ව " යනුවෙන් ප්‍රාදේශීය ව්‍යවහාරයක්ද පවතී

වලව්වේ අවසන් සාමාජිකයා වන්නේ ජස්ටින් පීරිස් දැරණියගල මහතාය. වර්ෂ 1967 දී හැටතුන් හැවිරිදි වියේදී අවිවාහකව මියගිය ඒ මහතා විසිවන සියවසේ විශිෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකි.ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු නොමැතිව මේ වලව්ව වසර හතලිහකට ආසන්නවම හුදෙකලාව පැවතියේය. " X FILES" නැමති ටෙලිනාට්‍ය මාලාවේ ස්කෙලී ලෙස රඟපෑ ගිලියන් ඇන්ඩ්‍රසන් (Gillian Anderson) නැමති හොලිවුඩ් නිලිය මෙම වලව්ව සහිත ඉඩම මිලදීගෙන ඉතා ආකර්ෂණීය ආකාරයකට වලව්ව ප්‍රතිනිර්මාණය කොට සුඛෝපභෝගි හෝටලයක් බවට පත්කල අතර ඇය සමග හවුල්වූ ශ්‍රී ලාංකිකයන් සමග මුදල් ගණුදෙනු සම්බන්ධ හැලහැප්පීම් කීපයකටම මුහුණුදී නඩුවකටද පැටලුනු ඇය මේ වලව්ව වෙනත් පාර්ශවයකට විකුනූ අතර වර්තමානයේ "VICEROY HOUSE" නම් සුඛෝපභෝගි හෝටලයක් පවත්වාගෙන යයි.

මේ වන විට මෙම වලව්ව USD මිලියන 5.8 ක වටිනාකමකට විකිණීමට ඇති බවට තොරතුරු වාර්තා වෙයි

Social Media