free counter statistics

Food & Health

කොරෝනා (Covid-19) හමුවේ, ශ්‍රී ලංකාවේ Tourism...

person| 11 Jan, 2021

“තැප්‍රොබේන්” නම් දරමින් පෙරදිග මුතු ඇටය වන ශ්‍රී ලංකාව නම් සුන්දර රටේ සෑම බිම් අඟලක්ම පාරාදීසයකි. ඉබන්බතූතා, ක්‍රිස්ටොපර් කොලොම්බස්, වස්කෝදගාමා, වැනි දේශගවේෂකයින්ගෙන් ආරම්භ වූ සංචාරක කර්මාන්තය අද වන විට සමහර රටවල ප්‍රධාන ආදායම් මාර්ගය දක්වා ව්‍යාප්ත වී තිබේ. නව සංචාරක කර්මාන්තයේ පියා වන තෝමස් කුක් මහතා විසින් එය විධිමත් කරමින් ලොව සෑම රටකටම පාහේ ආදායමක් උපයා දීමට සමත් වී තිබේ. විවිධ හේතු කාරණා පාදක කරගනිමින් සංචාරකයන් තම රට තුල හෝ වෙනත් රටවල සංචාරයේ යෙදෙන්නට විය. 21 වන සියවස වන විට ජීවන ගමන් මගේ තවත් එක් අවශ්‍යතාවයක් බවට පත් වන තරමටම සංචාරක ක්ෂේත්‍රය දියුණු විය.

සංචාරක අත්දැකීම සම්පූර්ණ වන්නට නම් ජීවිතයේ එක් වරකදී හෝ සුන්දර ශ්‍රී ලංකාව නැරඹිය යුතුමය. තැනකින් තැනකට ගමන් කරන්නෙකු යම් ස්ථානයක නවාතැන් ගනිමින් විවිධ විෂය පථයන් ඔස්සේ එම රස විඳිමින්, කුරුළු ඇසින් ලෝකය දකින්නට වෙර දරන්නෙක් නම් ඔහු සැබවින්ම සංචාරකයෙකි. ශ්‍රී ලංකාව තුළදී දෑස් බැඳ කොතැනකට හෝ තැනකට ගෙනගොස් මුදාහළ හොත් එම ඕනෑම ස්ථානයක් සංචාරයට සුදුසුම ස්ථානයකි. පැය දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළදී ශුෂ්ක, අර්ධ ශුෂ්ක, වැසි වනාන්තර, කඳුකර, තෙත් බිම් වැනි දේශගුණික කලාප කීපයක් පසු කිරීමට තරම් මේ රටේ ජෛව විවිධත්වය ඉතා ඉහලය. ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය ලබන්නට, ප්‍රෞඪ ඉතිහාසයක උරුමය දැකබලාගැනීමට, ලොව අසමසම දේශීය ඖෂධ ප්‍රතිකර්ම ලබන්නට සහ රට වටා ඇති නිල්වන් මුහුද තීරයේ අත්දැකීම් ලබන්නට සංචාරකයන් ඇදී එන්නේ දෙවරක් නොසිතාය. 2019 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ආදායම් මාර්ගය වන්නේ ද සංචාරක කර්මාන්තයයි. සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි කරමින් දියුණු වූ මෙම කර්මාන්තය නිසාවෙන් සුවිසල් මන්දිර මෙන් ඉදිවන ඉහළ තරු පන්තියේ හෝටල් වල අඩුවක් නම් නැත. 2019 යනු ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට මරු පහරක් වැදුනු වසරක් විය. 2019 අප්‍රේල් 21 අවාසනාවන්ත ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ද ඊට ගොදුරු කර ගනිමින්ය. 2018 වර්ෂය වන විට සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2.3 ක් පමණ වන අතර බාධක මධ්‍යයේ වුවද 2019 වර්ෂය වන විට මුළු සංචාරක පැමිණීම මිලියන 1.9 පමණ දක්වා විය. ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය රැඳවුම් කාලය රාත්‍රි 10.4 අගයක් ලබා ගන්නට තරම් මෙහි ආගන්තුක සත්කාරය ඉතා උසස් විය. සෘජු හා වක්‍ර රැකියා 402,607 නිර්මාණය කරමින් රට පුරා ව්‍යප්ත වූ කාමර 40,365 කින් සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට මහත් දායකත්වයක් සැපයීය.

පාස්කු ප්‍රහාරයේ බලපෑම් ටිකින් ටික තුනී වීමට ආරම්භ වත්ම තවත් ව්‍යසනයක ලකුණු පහළ විය. 2020 ජනවාරි මස 27 වන දින පළමු කොවිඩ් අසාදිතයා ලෙස චීන ජාතික කාන්තාවක් ලංකාවෙන් හමු විය. ඒත් සමග ගෝලීය කොවිඩ්-19 වෛරසය ලක් මාතාව තුළට ඇතුල් විය. මාර්තු මස වන විට එය ක්‍රම ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගැනීමත් සමග සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවීය. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තය නැවත වතාවක් කඩා වැටුණි. මේ කාලය වන විට ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය ඉතාමත් දරුණු තත්ත්වයක පැවති නිසා සියළු ගුවන් ගමන් නවතා, ගුවන් තොටුපළයන් වසා දැමීමට පියවර ගන්නා ලද බැවින්, ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමට දොර වැසුණි. මේ හේතුවෙන් 2019 දී 1,913,702ක් වූ සංචාරක පැමිණීම 2020 දී 507,704 දක්වා 73.5% කින් අඩුවිය. ඒ තුළින් Sri Lanka Airlines ගුවන් සේවයට ද සිය ආදායම් අහිමි විය.

මෙලෙස සංචාරක කර්මාන්තය අඩපණ වීම නිසා ලාංකීය ආර්ථිකයට වූ බලපෑම සුළුපටු නොවේ. රටට විදේශ විනිමය ගෙන එන මෙම සංචාරක කර්මාන්තය ඇණ හිටීම නිසා ජාතික ආදායමට සැලකිය යුතු බලපෑමක් එල්ල විය. එමෙන්ම සංචාරකයින් ඒම නතර වීමත් සමගම රටට ආයෝජන ගලා ඒමද නතර විය. ලෝක ආර්ථිකයේ පසුබෑම් හට ගැනීමත් සමග ඇතැම් ආයෝජකයින් සිය ආයෝජන ඉවත් කරගන්නා ලදි. සංචාරක පාරාදීසයක් ලෙස නම් දරා තිබූ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ කීර්තිනාමයට තරමක බලපෑමක් නිතැතින්ම එල්ල විය.

මෙලෙස ආර්ථිකයට බලපෑමක් එල්ල වීමත් සමග සංචාරක කර්මාන්තය මත රැඳී පැවති සුළු කර්මාන්ත රැසකට ද අහිතකර බලපෑම් එල්ල විය. සංචාරකයින්ට නවාතැන් සැපයූ හෝටල්, නවාතැන්පොලවල් ආදී ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ඇද වැටුණි. අවසානයේ දී එම ස්ථාන නිරෝධායන කටයුතු වලට යෙදවීමට සිදු විය. ඒත් සමගම ඒවායේ රැකියා වල නිරතව සිටි සේවක සේවිකාවන් රැසකට සිය රැකියා අහිමි වී සේවා වියුක්ති තත්ත්වයට පත් විය. එමෙන්ම Safari රථ හිමිකරුවන්, සංචාරක මගපෙන්වන්නන් ආදීන්ටද සිය රැකියාවන් අහිමි විය. තවත් අමතක නොකළ යුතු පාර්ශව කීපයක් මේ කොවිඩ් වසංගතය නිසා අගතියට පත් වී ඇත. ඒ පාර්ශව නම් සංචාරක ස්ථාන ආශ්‍රිතව අත්කම් භාණ්ඩ අලෙවි කිරීම් කටයුතු වල නිරතව සිටි නිර්මාණකරුවන්, සුළු ව්‍යාපාර කටයුතු කරගෙන ගිය අහිංසක ජනතාවය. ඔවුන්ගේද එදිනෙදා ආදායම් මාර්ගය අහිමි විය. මේ අයුරින් කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා රටේ සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් එල්ල විය. මෙවන් තත්ත්වයක් තුළ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින්, නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඒත් සමග ඉදිරියට යාමේ පියවරක් අනුගමනය කළ යුතුව ඇත. සංචාරක කර්මාන්තයද ඉතාමත් සුපරීක්ෂාකාරීව, සෞඛ්‍යාරක්ෂිතව, සුළු වශයෙන් දේශීය සංචාරක කර්මාන්තය හෝ ආරම්භ කොට කොරෝනා සමග සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යෑමේ පියවරකට යා යුතුව ඇත. ඉන් අනතුරුව විදේශ සංචාරක කටයුතු කෙරෙහි අවධානය යොමු කළ හැකිය. හැකි ඉක්මණින් මේ කොවිඩ්-19 වසංගත තත්ත්වය දුරු වී නැවතත් ලංකාව නම් වූ සංචාරක පාරාදීසයේ දොරටු ලොවට විවර වේවා යන්න අපගේ අවසන් පැතුමයි.

Will the global tourism industry survive the pandemic? I Inside Story

person
shareShare this article