free counter statistics


Covid-19 සමග ගැටෙමින්, එක්සත්‍ රාජධානියේ ජීවිත සුරකින්නට වෙර දරන සොඳුරු, ලාංකීය සුව විරුවෙක්... ශල්‍ය වෛද්‍ය (Surgeon)තුසිත හෙට්ටිආරච්චි

මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : ඔවදිනී තෙන්නකෝන් සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ

සේසත “Coffee Chat” විශේෂාංගය පරිශීලක ඔබ ඉතාමත් කැමැත්තකින් කියවන බව අපට ලැබෙන ප්‍රතිචාර තුළින් අපි හොඳාකාරවම දන්නෙමු. ඒ නිසාවෙන් ම තවත් ලාංකීය විශිෂ්ටයෙකු සමඟ මෙලෙසින් දොඩමළු වුනෙමු. නිරෝධායන නීතිරීති වලට අනුකූල වෙමින් Zoom තාක්ෂණය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය.

මෙම සොඳුරු ලාංකීයා නමින් “වෛද්‍ය තුසිත හෙට්ටිආරච්චි.” එතුමා දැනට ශල්‍ය වෛද්‍යවරයෙක් (Surgeon) සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (Senior Registrar) වරයෙකු ලෙස Norfolk and Norwich University මහා රෝහලේ සේවය කරනවා .

ලාංකීය කවුරුත් දන්න, නිරන්තර කාර්යබහුල හෝමාගම නගරය මෙතුමාගේ උපන් ගමයි, අධ්‍යාපන සේවයේ පරිපාලන නිළධරයෙකු වූ සිය පියාණන් කුඩා කලම අභාවයට පත්වීමත් සමඟ, ගෘහණියක් වූ සිය දිරිය මව්තුමියගේ ඇසුරේ හැදී වැඩුණු මෙතුමන්, වැඩිමල් සහෝදරයෙකුට හා බාල සහෝදරයෙකුට මැදිව මද්දුමයා ලෙස සිය මව්තුමියගේ ආදරණීය ඇසුරේ මෙන්ම නිවැරදි මඟපෙන්වීම යටතේ සිය මාර්ගය සකසාගෙන ඇත. අද වන විට තම දයාබර බිරිඳගේ නොමඳ සහයෝගය සමඟ ඉදිරියට යන මේ දක්ෂ වෙදැදුරු සිය අත්දැකීම් අප හා බෙදාගත්තේ මෙලෙසිනි.

LondonZ

Q: ඔබගේ මුලික අධ්‍යාපනය හැදෑරුවෙ ?

මුලින්ම මම ඇත්තටම, ශිෂ්‍යත්වෙට (5 වසර) එනකන් ගියෙ කොට්ටාව ධර්මපාල විද්‍යාලයට. මම Royal එකට (කොළඹ රාජකීය විද්‍යාලය) ගියා ශිෂ්‍යත්වෙ පාස් වෙලා. එතන ඉඳලා උසස් පෙළ වෙනකන්ම ගියෙ Royal එකට. ධර්මපාල විද්‍යාලයෙන් මට මූලිකව සෑහෙන ලොකු අඩිතාලමක් දාලා දුන්නා. ඒවගේම ඉතුරු ටික ගොඩනගාගන්න රාජකීය විද්‍යාලය ලොකු පිටුවහලක් උනා.

ඇත්තටම මම හරි වසනාවන්තයි. අපිට හම්බුණ ගුරුවරු අවංකව විස්වාස කළා අපිව හොඳ තැනකට ගේන්න පුළුවන් කියලා. ඒ කියන්නෙ පාඩම් වැඩ විතරක් නෙවෙයි, මානුෂික වශයෙන් අපි කොහොමද දියුණු වෙන්න ඕන, දේවල් කොහොමද දකින්න ඕන විදිහ කියලා දුන්නා. ඒක ගොඩක් ප්‍රයෝජනවත් උනා

Q: වෛද්‍ය අධ්‍යාපනය ගැන මතක් කලොත් ?

මගෙ වෛද්‍ය අධ්‍යාපන කටයුතු කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඒකෙත් 13 වන කණ්ඩායමේ තමයි හිටියේ, ඒ කියන්නෙ 2002 A/L කණ්ඩායමේ. ඒකෙදිත් අපිට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. විශේෂයෙන් ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනයෙ වටිනාකම මට තේරුනේ මේ එංගලන්තෙ ආවට පස්සෙ. ඇත්තෙන්ම අපෙ වෛද්‍ය ශිෂ්‍යයො සායනික පැත්තෙන් වගේම ප්‍රායෝගික පැත්තෙන් අපි සෑහෙන ඉස්සරහින් ඉන්නවා මෙහෙ ඉන්න වෛද්‍ය ශිෂ්‍යයින්ට වැඩිය. ඒ නිසා මෙහෙ ආවම අපිට හරි ලේසියක් උනා ඒක

එතකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම වෛද්‍ය පීඨයේ අවුරුදු 5 1/2 ක් ඉඳලා ඉවර කළා. ඊට පස්සෙ අපිට පරිවාස පුහුණු කාලයක් තියනවා අවුරුද්දක විතර. ඒ අතරතුර මම එංගලන්තෙට ඇවිත් PLAB Exam එක (එංගලන්තයේ වෛද්‍ය සභාවේ සාමාජිකත්වය ගැනීමේ විභාගය) කරලා ආයෙත් ලංකාවට ගියා.

හෝමාගම මූලික රෝහලේ තමා මගෙ සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළේ. එහිදී ප්‍රසව හා නාරි වේදය සම්බන්ධව මාස 6කුත්, කුඩා ළමුන් සම්බන්ධ වෛද්‍ය කටයුතු මාස 6කුත්, ඊට අමතරව ශල්‍ය වෛද්‍ය අංශයෙත් වැඩ කරලා ඉවර වෙලා තමා එංගලන්තෙට ආවෙ දිගුකාලීනව සිටින්නම

Q: ඔබ එංගලන්තයේ වැඩ ආරම්භ කළේ කොහොමද?

මෙහෙට ඇවිල්ලා මම වැඩ පටන් ගත්තෙ දෙවන වසර සීමාවාසික පුහුණුවක් හැටියට. ඒත් ශල්‍ය වෛද්‍ය අංශයෙන්ම. ඒ Queen Elizabeth Hospital, King's Lynn කියන තැන. එතනත් මට හොඳ ගුරුවරු හම්බුනා. හොඳ senior consultants ලා හිටියා. ලංකාවෙ විශේෂඥ වෛද්‍යවරයෙකුත් හිටියා. එයා දැක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල රෝහලේ උපදේශකයෙක්. චන්දන විජේවර්ධන තමා නම. අපි එංගලන්තෙ ආපු කාලෙ මේ ශල්‍ය වෛද්‍ය අංශයෙන් ඉස්සරහට යන්න ලොකු බාධා තිබ්බා,

විශේෂඥ වෛද්‍ය චන්දන විජේවර්ධන වැනි අය කිව්වා නෑ නෑ බයවෙන්න එපා ඔයාට පුළුවන්, කියලා මානසිකවයි, ඒවට අවශ්‍ය ලිපිගොනු හා සුදුසුකම් සපුරගන්නයි සෑහෙන්න උදව් කරපු කට්ටියක් හිටියා. ඒ උදව්වෙනුයි, උත්සාහෙනුයි, වාසනාවත් පොඩ්ඩක් තියෙන්න එපැයි (සිනාසෙමින්) ඒකෙනුයි ඒ අවුරුද්ද ඉවර වෙනකොට මම විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධාරාවට තේරුණා.

Laparoscopic Surgery Procedure - File Photo

Q: කොහොමද ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස තේරීම් ක්‍රියාවලිය?

ඒකෙ ජාතික තේරීම් ක්‍රියාවලියක් තියෙන්නෙ. එතනදි මගෙ ලිපිගොනුව (portfolio, පර්යේෂණ වාර්තා ආදිය ඇතුළත්) පරීක්ෂා කරලා බලලා, තවත් සම්මුඛ සාකච්ඡා මාලාවකින් තමා අපිව තේරෙන්නෙ. මම ඒකෙන් තේරුනා. තේරිලා මම මුලින්ම වැඩ පටන් ගන්නෙ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල රෝහලේ (Addenbrooke's Hospital). ඒකෙදි මම ප්ලාස්ටික් ශල්‍ය විද්‍යාව (Plastic Surgery) සහ මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය ආශ්‍රිත ශල්‍ය විද්‍යාව ඉදිරියට හැදෑරුවා. එතනිනුත් ඉස්සරහට ගිහින් අනෙක් ශල්‍ය වෛද්‍ය කොටසුත් සම්පූර්ණ කළාට පස්සෙ එනවා විභාගයක්. ඒකත් සම්පූර්ණ කළාට පස්සෙ තවත් ජාතික මට්ටමේ තේරීම් ක්‍රියාවලියක් එනවා ඉතාම සීමිත පිරිසක් තෝරගන්න ලේඛකාධිකාරී (Registrar) තනතුරට.

එතනදි මට මතකයි සම්මුඛ සාකච්ඡාව විතරක් පැය 6ක්. ඉස්සරලටත් වඩා ලොකු දේවල් බලනවා. අපි කරපු විගණන, අන්තර්ජාතික මට්ටමේ සමුළු වල කතා කරපුවා වගේ ගොඩක් ජාති බලන Assessment එකක් තියෙනවා. එතන තමා turning point එක අපි හැමෝගෙම. එතනින් තමා තීරණය වෙන්නෙ අපි කොහාටද යන්නෙ කියලා.

එතනදිත් මතක් කරන්නෝන මගෙ බිරිඳ, අම්මා, සහෝදරයෝ එහෙම. මට මේ වැඩ කරගන්න ලොකු පිටුවහලක් උනා ඒගොල්ලො. මොකද මම වැඩ කරන ගමන් තමා මේ ඔක්කොම දේවල් කළේ.

Dr. Thusitha is performing a Laparoscopic Surgery

Q: කොහොමද එංගලන්තයේ ඔබගේ සේවාව ?

මම මූලික ලේඛකාධිකාරී තනතුරේ, එහෙමත් නැත්නම් Registrar period එක කරා Ipswich Hospital එකේ අවුරුදු 2ක්. ඊට පස්සෙ Norfolk and Norwich University Hospital එකේ වැඩ කළා තවත් අවුරුදු 2ක්. ඊටපස්සෙ මේ පහුගිය ඔක්තෝබර් වෙනකන් ආය වැඩ කළා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල රෝහලේ (ශික්ෂණ රෝහලක්) අවුරුද්දක්. ඊටපස්සෙ දැන් ආය වැඩකරන්නෙ Norfolk and Norwich University Hospital එකේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (Senior Registrar) විදිහට.

දැන් යන්නෙ මගෙ අන්තිම අවුරුද්ද. ඊට පස්සෙ මම අවශ්‍ය ලිපිගොනු හදලා දුන්නට පස්සෙ මම සුදුසුකම් ලබනවා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට වැඩකරන්න එංගලන්තෙ ඇතුළත

මම දැනට සාමාන්‍යයෙන් කරන්නෙ මහා බඩවැල ආශ්‍රිත පිළිකා, ඉදිමුම් තත්ත්ව වගේ දේවල් සම්බන්ධ කටයුතු. ඊට අමතරව මගේ විශේෂ උනන්දුවක් තියෙනවා අපේ බඩවැලේ පහළම කොටස ආශ්‍රිත ශල්‍ය කර්ම සිදුකරන්න. මගෙ සාමාන්‍ය එදිනෙදා ශල්‍ය කර්ම වලින් බහුතරයක් කරන්නෙ Laparoscopy (කැමරාව දාලා operation එක කරන විදිහට) ශල්‍ය කර්ම. ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි සාම්ප්‍රදායික විදිහට ලොකු කැපුමක් යොදලා කරන්නෙ. ඊට අමතරව මම දැනට Robotic Surgery වල පුහුණු වෙනවා.

Q: දැන් ඩොක්ටර් අපි සරලවම බැලුවොත් Laparoscopy ගැන එහෙම සාමාන්‍යයෙන් දන්නවා. ඒත් මොකද්ද මේ Robotic Surgery කියන එකේ වෙනස?

ඒ කියන්නෙ ඒකෙ කාරණා ගොඩක් තියනවා. Laparoscopy එකේදි වෙන්නෙ එක්කෙනෙක් Surgery එක කරනවා අනෙක් එක්කෙනා කැමරාව / ලයිට් අල්ලන් ඉන්න විදිහටනෙ. Robotic Surgery වල විශේෂත්වෙ තමයි, රොබෝ කෙනෙක් තමයි මේ ඔක්කොම කරන්නෙ. වෛද්‍යවරයා වෙනම තැනක ඉඳන් Console එකකින් තමා පාලනය සහ වැඩේ කරගෙන යන්නෙ. ඒ වගේම ඒකෙන් වෙන හානිය අඩුයි. ලේ වහනය වෙන ප්‍රමාණයත් අඩුයි. කැමරාවෙන් හොඳ පෙනුමක් ලබාදෙනවා 3D විදිහට.

Robotic Surgery Procedure - File Photo

Q: එතකොට ඩොක්ටර් පහුගිය මාස 12, කොවිඩ් තත්ත්වය ගැන කතා කළොත්? එළියෙන් පේන තත්ත්වය අපි දන්නවා, ඒත් රෝහල් වල ඇතුළත තත්ත්වය කොහොම ද?

මෙහෙමයි ඉතින්. පටන් ගත්ත පළවෙනි රැල්ලෙදි ලෙඩ්ඩු එන ප්‍රමාණය අඩු වුනා ශල්‍ය අංශෙ වලට . අර මම කිව්වා වගේ screening හරහා එන ලෙඩ්ඩු සම්පූර්ණයෙන්ම නතර කරන්න වුනා අපිට. ඒ වුනාට අර එදිනෙදා අසනීප වෙලා එන ප්‍රමාණය අඩුවක් උන් නෑ අපිට. ඊට අමතරව අපිට ගොඩක් කොවිඩ් ලෙඩ්ඩු වෙනුවෙන්, මගේ සහෝදර අනිත් ලේඛකාධිකාරීවරු වෙනත් තැන් වලට මාරු කරන්න වුනා. ICU වල නැත්තන් අනෙක් වාට්ටු වල වැඩට යොදවන්න වුනා. මොකද ගොඩක් අයට යම් යම් හේතු නිසා එන්න බැරි උනාම, Self-isolate වෙන්න වුනාම අපිට ලොකූ gap එකක් ආවා. ඒකෙදි හැමෝටම බර අදින්න වුනා

පහුගිය මාස තුනේ එක දිගට on call කරන එක තමා කළේ. උදේ පටන්ගෙන සමහර වෙලාවට පැය 12, 15 ටත් වැඩිය shift එක කරන්න වුනා. මොකද අපිට බොහොම අඩු පිරිසක් හිටියෙ. බොහොම ආධුනික අයගෙ වැඩත් කරන්න වුනා, senior අයගෙ වැඩත් කරන්න වුනා. ඒක ලොකූ ප්‍රශ්නයක් වුනේ නෑ මොකද මම ලංකාවෙ ඒ විදිහට වැඩ කරලා තිබ්බ හින්දා. ඒ හින්දා අපෙ තිබ්බ pressure එකට ඔරොත්තු දෙන ගතිය හොඳට පැහැදිලි වුනා

සමහර දවස් වල මගෙ ward round එක කොවිඩ් රෝගීන් විතරමයි. ඒ විතරක් නෙවෙයි මෙහෙම වැඩ කරන්න ගිහින් මට පහුගිය මාර්තු වල මට කොවිඩුත් හැදුනා. ඒ වුනාට මට කිසිම කණගාටුවක්වත් දුකක්වත් නෑ, ඉතින් අපි මේ වගේ සේවයකට ආවෙ ඉතින් මේ වගේ අවධානමක් දරගන්න පුළුවන් නිසා තමයි. හරියට නිකන් හමුදාවෙ සොල්දාදුවොන්ට වගේ. එයාලට කියන්න බෑනෙ යුද්ධෙට යන්න බෑ කියලා. අන්න ඒ වගේ අපිත් කැප වෙලා, වැඩිය හිතට බරක් ගන් නැතුව අපේ අරමුණ දිහා බලාගෙන වැඩ කරනවානම් ඉතින් වැඩිය අමාරුවක් නෑ. මොකද මට කොවිඩ් හැදිලා සතියෙන් මම ආය වැඩට ගියා. මගෙ බිරිඳ ඇතුළු ලබැඳියන්ටත් මේ ලෙඩේ බෝ වීමේ අවධානමක් තියාගෙන තමා ඉතින් වැඩ කළේ. නමුත් හොඳ පරිස්සමකිනුයි, හොඳ අවධානයකිනුයි හිටියහම ඉතින් එච්චර ප්‍රශ්නයක් වුණේ නෑ.

Q: ඩොක්ටර්, කොහොමද මුලින්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න යන විට එය ලැබුණු ආරක්ෂිත ඇඳුම පිළිබඳ අදහස?

සමහර වෙලාවට ලංකාව ගැන හිතනකොට නම් පුදුමත් හිතෙනවා. අපි නම් Hazmat suit එක ඇන්දෙ නැහැ. මාස්ක්, වයිසර්, ඒප්‍රන් එක පමණයි අපි පාවිච්චී කලේ. මම කොරෝනා රෝගීන් ආසන්නය පවා ගොස් ප්‍රතිකාර කලා. ආරම්භක කාලයේ බොහෝ වෙලාවට සමහර රෝගීන්ට ප්‍රතිකාර කරන විට කොරෝනා රෝගීන් කියා දැනගෙන හිටියේ නැහැ. මුල්ම කාලයේ පරීක්ෂණ එතරම් යුහුසුළුව තිබුණේ නැහැ ඒක නිසා සමහර වෙලාවට අපට ගැටලු මතුවුණා. නමුත් තමන් පරිස්සම් වෙනවා නම් එතරම් ගැටලුවක් නැහැ.

Q: එතකොට සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකට ගනිද්දී කොරෝනා කියලා පරීක්ෂණයක් සිදු කරනවාද?

මෙහෙ තියෙන නීතිය අනුව නම් කලින් සැලසුම් කරලා තියෙන ඔපරේෂන් එකක් නම් සති දෙකක් self-isolate වෙලා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් වෙන්න ඕනේ. දින තුනකට පෙර PCR පරීක්ෂණයක් කරල එය negative වුනොත් තමයි ඔපරේෂන් එකට ගන්නේ. ඉන්පසු අපි හොස්පිට්ල් එකේ කොටස් දෙකට බෙදලා වෙන්කරලා තියෙනවා. එයින් green පැත්තට යන්නේ කලින් සැලසුම් කරලා ඔපරේෂන් එකට ගත්තු පිරිස, yellow පැත්තට යන්නේ emergency operate කරපු පිරිස මොකද ඒගොල්ලෝ තමයි අවදානමෙන් වැඩි පිරිස. එවැනි අවස්ථාවන්වලදී ආරක්ෂිත සියලු පිළිවෙත් අනුගමනය කරමින් තමයි ඒ කටයුතු සිදු කරන්නේ.

Q: දැනට එතකොට සාමාන්‍යයෙන් මෙහෙ ඉන්න අයගෙ අත්දැකීම තමයි Waiting time එක NHS එකේ. විශේෂයෙන් Routine operation වෙන්න පුළුවන්, ඒවගෙ දැන් තත්ත්වෙ කොහොම ද? ආයෙත් Back to normal වෙනවද?

මේ වන විට කොරෝනා මරණ විවිධ ප්‍රමාණවලින් ගණන් බලනවා. නමුත් මං හිතන විදියට තව වසර ගණනාවක් මේ මරණ අපිට දකින්න වෙයි. ඒ නිසාම පිළිකා රෝගීන්ට මූලිකත්වය දෙමින් ඉක්මනින් පිළිකා හදුනා ගනිමින් ප්‍රතිකාර කරනවා. මොකද නැත්නම් ඉදිරියේදී ඔවුන්ට දිගුකාලීනව අහිතකර ප්‍රතිඵල අත්විඳින්න සිදුවෙනවා. අනිත් රෝගීන්ට අවස්ථාව දීමට නොහැකිවීම ගැටලුවක්. මොකද ඒ හැමෝම මිනිස්සුනෙ. මේ හේතුවෙන් ජන ජීවිත වලට යම් බලපෑමක් එල්ල වෙනවා.

Q: එතකොට දැනට ගත්තොත් කොවිඩ් වලට කලින් ඔපරේෂන් එකක් කරන්න වැය වෙන කාලේ දැන් වෙනසක් තියෙනවාද?

නැහැ. මුල් දවස්වල එහෙම තිබ්බා. දැන් වාතාවරණයත් සමග එහෙම වෙන්නේ නෑ. විශේෂයෙන්ම අපිට කොවිඩ් තියන රෝගින් operate කරන්න වෙනම theater එකක් තියෙනවා. එතකොට එයාලාට අයිති වැඩ ටික ඒකෙ කරගෙන යනවා අනිත් අය අනිත් තියෙන වාට්ටු වල වැඩ කරගෙන යනවා.

Q: ලංකාවට සාපේක්ෂව මෙහි වැඩි රෝගීන් ප්‍රමාණයක් ICU එකට ගියා නේද ?

ඔව්. ප්‍රධාන වශයෙන්ම ස්ථුලතාවය එයට බලපානව. පිරිමි අයත් සංකූලතාවයන්ට පත් වෙනවා වැඩි. පැතීරීමට තියන අනික් හේතුව තමයි පරීක්ෂණ ප්‍රමාද වීම. මෙහි එන්නත් කිරීම හොඳටම සිදු වෙනවා ඒ හින්දා ඉදිරියේදි රෝගීන් වාර්තා වීම සෑහෙන්න ප්‍රමාණෙකින් අඩුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Q: දැනට එහෙම අඩු වීමක් පේනවද?

අනිවාරෙන්ම. අඩුවීමක් තියනවා. රෝගින් සිටියත් අමාරු වෙනවා අඩුයි .

Q: එතකොට ඩොක්ටර්ගෙ එදිනෙදා සාමාන්‍ය වැඩ සතියක් ගෙවෙන්නෙ කෝමද?

ඒකත් ඉතින් හරිම interesting. මගෙ සතිය කොටස් දෙකකට කැඩෙන්න පුළුවන්. එකක් තියනවා මගෙ එදිනෙදා වැඩ. අනෙත් කොටස තමා Surgery වලට එන ලෙඩ්ඩුන්ව බලන එක. සාමාන්‍යයෙන් මට ලෙඩ්ඩු 60ක් 70ක් ඉන්නවා. ඒ බලලා උදේම ward round එකක් කරනවා. ඒකට මාත් එක්ක සහයට ඉන්නවා ආධුනික වෛද්‍යවරු දෙතුන් දෙනෙක් සහ වෛද්‍යවරුන්ගේ සහයට විශේෂඥ වුණ හෙද පිරිසක්. එයාලත් එක්ක ගිහින් රෝගීන්ට ඕන බෙහෙත් ටික දීලා එහෙම ඉවර වෙලා, මම යනවා ශල්‍යාගාරයට. Operation කරන දවස් තියෙනවා, සායන දවස් තියෙනවා, ඊට අමතරව Endoscopy කරන දවස් තියෙනව, සාමාන්‍ය Operating දවසක් නම් උදේ 8.30 වගේ පටන්ගත්තම හවස 5, 5 1/2 වගේ වෙනකන් තමා අපි සැලසුම් කරලා තියෙන්නෙ. වෙලාවට ඉවර වෙන දවසුත් තියෙනවා, පරක්කු වෙන දවසුත් තියෙනවා. ඊට අමතරව සමහර Operations තියනවා ගොඩක් වෙලා කරන. ගොඩක් ලොකුවට පැතිරුන පිළිකා වලට. සමහර වෙලාවට ඒවා දෙකට කඩලා දෙපාරටත් කරනවා දවස් දෙකකට. ඊට අමතරව Operation එකෙන් පස්සෙ තව මම Operation කරපු ලෙඩ්ඩු ඉන්නවා එයාලත් පොඩ්ඩක් බලලා ගෙදර එනවා.

එතකොට on call කියන්නෙ සාමාන්‍ය රෝගීන් එක්ක වැඩ කරන එක. එතකොට හදිසි ප්‍රතිකාර ඒකක හරහා එන ලෙඩ්ඩු එහෙම තමා බලන්නෙ. කොයි වෙලාවෙ මොකක් එයිද කියන්න බෑ. සමහර වෙලාවට පිහි ඇනුම් වෙච්ච ලෙඩ්ඩු පවා එනවා. විශේෂයෙන් Norwich හා Cambridge hospital දෙකම හදිසි අනතුරු සඳහා ප්‍රධාන ස්ථාන දෙකක්. අපිට හෙලිකොප්ටර් වලින් ලෙඩ්ඩු ගේනවා, Ambulance වලින් ලෙඩ්ඩු ගේනවා සමහර වෙලාවට. ඒක ඉතින් විවිධාකාරයි. එක දවසක්වත් කලින් දවසට සමාන නෑ. මහන්සී ඒත් අර විවිධාකාර බව නිසා හැම වෙලේම මොකක් හරි අලුත් දෙයක් බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ.

Q: එතකොට අපි ටිකක් වෙනස් පැත්තකට ගියොත්, මං ඩොක්ටර් දැන හඳුනා ගත්තේ Association of Medical Aids to Sri Lanka තුලින්. ඔබතුමා කොපමණ කාලයක් වෙනවද එයට සම්බන්ධ වෙලා?

වසර තුනක් පමණ වෙනවා. ඇත්තටම ඒක හරිම සුන්දර මිනිස්සු ඉන්න තැනක්. ලංකාවේ වෛද්‍ය සේවයේ ගුණාත්මකබව වැඩි කරන්න අවංකවම වැඩ කරන පිරිසක් තමයි එතන ඉන්නේ. අවුරුදු 25ක් ඉඳන් මේ සංගමය ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් ගිය අවුරුද්දේ අපි හැදුවා අපේක්ෂා රෝහලේ Bone Marrow Transplant එකක්. ලක්ෂ 50 ක් පමණ වියදම් කරලා. තව ලක්ෂ 10ක් වටිනා ශ්වසන උපකරණත් ලබා දුන්නා හෝමාගම රෝහලට. අපේම ශ්‍රී ලාංකිකයන්ගේ ස්ව ධන පරිත්‍යාග‍යෙන් තමයි මේ දේවල් ඉදිවෙන්නේ.

ඒ වගේම පුත්තලම රෝහලේ නොමේරූ ළදරු එකකයට අවශ්‍ය උපකරණ දුන්නා. තව පදවිය රෝහලට dialysis උපකරණ පරිත්‍යාග කලා. මෙහෙ සිටින ශ්‍රී ලාංකිකයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනී. ඒ කට්ටිය නැත්තනම් මේ දේවල් කරන්න බැහැ .

ඒ වගේ මොන තරම් දුර රෝහලක් බලන්න ගියත් අපි අපේ වියදමින් යන්නේ. අපි Mount Lavinia එකට හදවත් අකර්මණ්‍ය වුනොත් නැවත පණ ගන්වන Defibrillator යන්ත්‍රයක් ලබා දුන්නා.

Q: එතකොට අපි වෙනත් පැත්තකට ගියොත්, ඩොක්ටර්ගේ විනෝදාංශ එහෙම මොනවද?

මං ගොඩක් පොත් කියවන්න කැමති කෙනෙක්. පේනව දන් නෑ මගෙ පිටිපස්සෙ තියෙනවා හොඳ මිශ්‍රණයක් තියෙන පොත් Library එකක්ම. ඒ වගේම ගොඩක් ආසයි travel කරන්න, විශේෂයෙන් දෙමව්පියෝ ආවම අපි රටවල් කීපයකම යනවා. මගේ ලොකු ආසාවක් තියෙනවා ඒ රටවල්වල සංස්කෘතිය හඳුනා ගැනීමට. අනික තමයි garden එකේ වැඩ කටයුතු කරන්නත් මම ගොඩක් ආසයි. ඇවිදින්න යන්නත් මම ආසයි. මම Cambridgeකිට්ටුව ඉන්න නිසා එහි ඇවිදින්න ගොඩක් තැන් තියනවා. මගේ නිවාඩු කාලය ගත වෙන්නෙ ඒ දේවල් වලට තමයි.

Q: ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද මේ වැඩකටයුතු වලට?

මං හිතනවා මම සෑහෙන්න වාසනාවන්තයි. මගේ රැකියාව හඳුනාගත් බිරිඳක් ලැබීම. එයා රුධිර නාල පිළිබඳව පරීක්ෂණ සිදුකරන ආයතනයක පර්යේෂණ අධ්‍යක්ෂවරියක්. මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. එයා “නුවණි එදිරිසිංහ.”

Q: මම මෙහෙම ඇහුවොත් තව වසර පහකින් විතර මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මගේ ජීවිතේ මං කැමති කාරණා 3ක් තියනවා. එකක් bungee jumping කිරීම. ඒ වගේම sky diving කරන්න. සමහර විට මගේ වෘත්තිය නිසා වෙන්න ඇති මම ඒ වගේ adventure දේවල් කරන්න කැමති. වෘත්තීය ජීවිතේ පැත්තෙන් ගත්තොත් රැකියා ජීවිත කාලය තුළ යම් ප්‍රමාණයකට පමණක් දැනුමක් ලබාගෙන තියෙනවා. ඒ දේවල් ලංකාවේ පිරිසට නොමිලේ සායන මගින් හෝ Robotic Surgery කරන්න පුහුණු වැඩමුළු පවත්වලා හෝ දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට වැඩිම සතුටු හිතෙන් දවස එදා වේවි.

Q: අන්තිමටම ඩොක්ටර්, මේ පවතින කෝරෝනා තත්වෙ එක්ක බොහෝ දෙනෙක් NHS පිලිබද අවදානය ලබා දුන්නා. මෙහේ සාමාන්‍ය ප්‍රජාව ගත්තොත් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ ඒ කටයුතු පවත්වාගෙන යාමට?

මං දකින හොඳම දේ තමයි ලංකාවේත් එංගලන්තයේත් සෞඛ්‍ය පහසුකම් සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නොවීම. කොරෝනා කාලවකවානුවේදී ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුනා. තමන්ට අවශ්‍ය බෙහෙත් නොමිලේ සපයා ගැනීමට හැකි වුණා. එහිදී ප්‍රජාව තේරුම්ගත්තා නොමිලයේ ලැබෙන මේ සේවාව කොතරම් වටිනවද සහ ගුණාත්මකභාවය ගැන. ඒ කාරණාවේදී වැදගත්ම දේ තමයි මේ සේවාව තවදුරටත් පවත්වා ගැනීමට අවභාවිතය අනිවාර්යෙන්ම වළක්වාලීම. මොකද සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි මේ ක්‍රියාවලියේදී මෙතරම් ගුණත්වයෙන් පවත්වාගෙන යන්නේ කල්පනාකාරීව සෞඛ්‍ය සේවාව භාවිතා කලොත් වැඩි පිරිසකට මේ සේවාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ සේවාවකින් යම් උපදෙසක් ලැබුහොත් ඒ නිසි ලෙස පිළිපදින්න ඕනි.

අනෙක් කාරණාවනම් සෞඛ්‍යසම්පන්නභාවය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ පිළිබඳ සමහර වෙලාවට සැලකිල්ලක් දක්වන්නෙ නැති තරම්. ලංකාවේත් විශේෂයෙන් එංගලන්තයේත් ස්ථූලතාවය ගැටලුවක් වෙලා තියනවා. මෙය දිගුකාලීනව වෙනත් පීඩා ගෙන කාරණාවක්. ප්‍රජාවකට කළ හැකි ලොකුම සහයෝගය අධික රුධිර පීඩනය, පිළිකා වැනි රෝග අවම වන ලෙස ජීවිතය සැලසුම් කරගෙන පවත්වාගෙන යෑමයි. වසර පහක් පමණ වනතුරුම කොරෝනා ගැටලුව පවතින නිසා අපට අනික් රෝගින්ට පවතින අවධානය අඩු කරන්න වෙනවා. තමන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යනවා නම් නිරෝගී සමාජයක් බිහිකිරීමට හැකියි.

ඉතින් ඩොක්ටර්, ඉතාමත් වටිනා කරුණු රාශියක් අපට පැවසුවා. ඔබගේ වටනා කාලය අපට ලබා දීම ගැන අනේක වාරයක් ස්තුති කරනවා.

මෙතරම් සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් මව් රටෙන් පිට ඉන්න අප ඔබ සැමට ඉතාමත් වටිනවා. ඔවුන් සියල්ලන්ටම අපගේ කෘතවේදීත්වය සේසත අපි හිසනමා පුද කරන්නෙමු. එක්සත් රාජධානිය තුළ අපට හමුවන තවත් මෙවන් ලාංකිකයෙකු සමග සොඳුරු කතාබහකින් හමුවනතුරු සේසත coffee chat විශේෂාංගයේ සිව්වන පරිච්ඡේදය මෙලෙසින් නිමා කරමු.

Sesatha Coffee Chat - Segment 3

එංගලන්තයට ගීත මිහිර කැන්දන, ලාංකීය සප්ත ස්වර හසුරවන්නා... සුනෙත් චමින්ද

Lassana.com

Sesatha Coffee Chat - Segment 2

එක්සත් රාජධානියේ ලාංකීය නම තැබූ, ඉංජිනේරු ලේඛකයා... චන්දන ගුණසේකර

Lassana.com

Sesatha Coffee Chat - Segment 1

මංජුල ප්‍රසාද් ප්‍රනාන්දු

Lassana.com