free counter statistics


ලාංකීය ආගන්තුක සත්කාර කලාව තුළින් බ්‍රිතාන්‍යයේ හෝටල් කේෂ්ත්‍රයේ ඉදිරියටම ගිය ඉෂාන් කරු - Ishan Karu

මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : ඔවදිනී තෙන්නකෝන් සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ

නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් වෙබ් පරිශීලක ඔබ වෙත මේ සමීප කරනුයේ සේසත “Coffee Chat” විශේෂාංගයේ පස් වෙනි (5) කතාබහයි. “Coffee Chat” යනු සේසත වෙබ් අඩවියේ ඔබ වඩාත්ම ප්‍රිය කරන අංගයක් කිවහොත් අප නිවැරදී. පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා තවමත් අපට රිසි සේ මුණගැසීමට වරම් නොමැත. ඒ නිසාවෙන් මෙවරද අප Zoom තාක්ෂණය ඔස්සේ කතාවට මුල පිරුවේය.මෙම සොඳුරු ලාංකීයා නමින් ඉෂාන් කරු - Ishan Karu.

LondonZ

Q: ඔබ හෝටල් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය (Hospitality industry) තුළ ඉතා අත්දැකීම් සහිත කෙනෙක්. ඔබගේ ගමනේ විශේෂ අවස්ථා ගැන කිව්වොත්?

මම පටන් ගත්තෙ ලංකාවෙන්. Ceylon hotel corporation ගිහිල්ලා ඒකෙන් ඉගෙනගෙන මම Ramada Renaissance එකට යනවා . එතනින් මම Galadari හෝටලේට ගියා. ඒ කාලෙ තිබ්බ අවාසනාවන්ත තත්ත්වෙත් එක්ක හෝටලය වහන්න උනා. ඊට පස්සෙ මගෙ සුදුසුකම් ඔක්කොමත් එක්ක එංගලන්තෙට ආවෙ 2000 වසරෙදී.

ලංකාවෙ කොච්චර අත්දැකීම් තිබ්බත් මෙහෙ අලුත් නිසා මෙහෙට ඕන විදිහට අලුතින් හැඩගැහෙන්න ඕන. මෙහෙදි මුලින්ම Receptionist, Night Receptionist වගේ ඉඳලා ටිකෙන් ටික උඩට ආවා. එතකොට මම වැඩ කළේ Holiday Inn හොටෙල් එකේ. ඒකෙ management එක මාව විවිධ පාඨමාලා වලට යවලා මට ගොඩක් උදව් කළා. මාස 6ක් අවුරුද්දක් වගේ ඇතුළත මම ඒවා අවසන් කලා.

Q: ඔබේ වෘත්තීය ජීවිතය දිහා හැරිලා බැලුවම, ඔබ ලැබූ ඉහළම ජයග්‍රහණය කුමක්ද?

මගේ ජීවිතය දිහා බැලුවම මන් හිතන්නෙ මම තමා ශ්‍රී ලාංකීය තරුණම General Manager. ඒ අවුරුදු 7කට කලින්. ඒක මගේ හිතේ තිබ්බ දෙයක්. නිහතමානීව ඒකට ළඟා වුනා මම. ඊට පස්සෙ Area General Manager කෙනක් වුණා Best western Hotels වලට මාරු වුනාට පස්සෙ එකෙදි මම Best western Hotels 14ක් බලාගත්තා. අද වෙනකොට London Regional Manager වැඩ කරනවා.

Q: ලංකාවෙ ඉඳලා ඇවිල්ලා බ්‍රිතාන්‍යයේ හෝටල් කේෂ්ත්‍රයේ ඉදිරියට යන එක එච්චර ලේසි නෑ. මේ ගමන අතරතුර ඔබට ආපු අභියෝග මොනවාද?

මට මුලින්ම තිබ්බ බාධකය තමා විවිධ ජාතීන් සමඟ ගැටීමේ අපහසුව. ඉංග්‍රීසි, සිංහල දෙක ගැටළුවක් උනේ නෑ. නමුත් යුරෝපීය, ඉන්දියානු, මැලේසියානු වගේ භාෂා වලදී සන්නිවේදන ගැටළු ආවා මොකද ඒවා කතාකරන්න තරමට මම දැනගෙන හිටියෙ නැති නිසා. මම General Manager කෙනෙක් උනාට පස්සෙ ඒක ලොකුවටම බලපෑවා. එක කාලෙකදි අපිට විශාල මුදලක් වැය කරලා භාෂා පරිවර්තන උපකරණ දීලා තිබ්බ කාලයක් තිබ්බා

ඒ වගේම එතන ඉන්න ප්‍රධානියා ආසියාතිකයෙක් කියලා දැනගත්තාම අයුතු වරප්‍රසාද ඉල්ලන්න බලනවා. ඒවට මම මුහුණ දෙන්න යනකොට එයාලා තව තව එයාලගෙ ගනන් උස්සනවා. ඒක තිබුණ තවත් බාධාවක් සහ ටිකක් කල් යනකොට එයාලටම තේරුම් යනවා යුරෝපියන් වුනත් ආසියාතික වුනත් ලොකු වෙනසක් නෑ, පුහුණුව හොඳට තියනවනම් සේවාව නිසි පරිදි ලැබෙනවා කියලා.

Q: ඒ වගේ අවස්ථා වලට මුහුණ දීමේ හැකියාව ඔබට අත්දැකීම් හා හැකියාවත් එක්ක නිරායාසයෙන්ම එනවා නේ?

ඔව්. ගොඩක්ම ඉවසීම තියෙන්න ඕන. ආසියාතිකයො විදිහට අපි එයාලට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕන. මම ලංකාවෙ ඉන්න කාලෙ පුරුදු වෙලා හිටියෙ නෑ ඇහුම්කන් දෙන්න. මෙහෙදි ඒක ඉබේටම පුරුදු වුනා මොකද ඒ කියන දේ අපි ඇහුවෙ නැත්තන් එයාලට තරහා යනවා. ඒක අහලා එයාලගෙ හැසිරීමත් බලලා අපි වැඩ කලාම අපිට ඒ අවස්ථාවට හොඳට මුහුන දෙන්න පුළුවන්.

LondonZ

Q: Hotel එකක් කිව්වම කණ්ඩායමක් විදිහට වැඩ කරන්නෙ. විවිධ ජාතීන් එක්ක ප්‍රධානියෙකු ලෙස වැඩ කරද්දි කොහොමද එයාලා උනන්දු කරවන්නෙ? මොනව ද මතු වෙන ගැටළු භාෂාවට අමතරව?

ප්‍රධාන වශයෙන් ගත්තම අපි අංශ හතරක් (4) ගැන අවධානය යොමු කරනවා. එකක් තමා පාරිභෝගිකයාව ඉදිරිපස පිළිගැනීමේ කොටස (RECEPTION), ගෘහ නඩත්තු අංශය (HOUSE KEEPING), ඊළඟට තමා ආහාර පාන අංශය (FOOD & BEVERAGES), මූල්‍ය අංශය (REVENUE & FINANCIAL). මගෙ තිබුණ හොඳම ශක්තිමත්ම ලක්ෂණය තමා මම අංශ ප්‍රධානීන් එක්ක නිතර සම්බන්ධතා පවත්වාගනිමින්, සතියකට රැස්වීම් දෙකක්වත් කැඳවමින් නිතර යාවත්කාලීන වෙමින් කටයුතු කිරීම.

අනෙක් අය වරදක් උනාම හොයන්නෙ කවුද කළේ, කොහොමද උනේ කියලනෙ. ඒත් මම එහෙම නෙවෙයි, මම හොයන්නෙ කොහොමද වරද උනේ ඊළඟට නැවත ඒක වෙන එක නවත්තගන්නෙ කොහොමද කියන එක. ඒක මට ගොඩක් උදව් වුනා ජීවිතේ ඉස්සරහට එන්න. ඒ අංශ ප්‍රධානී රැස්වීම් වලදී අපි කතා වෙන්නෙ පසුගිය සතියෙ ආයතනේ වුන වැරදි මොනව ද ඒවට හේතු මොනවද වගේ දේවල්. ඉන් පස්සෙ ඒවට හේතු බලලා සන්නිවේදන දුර්වලතානම් ඒවගෙ නිවැරදි කිරීම් කරන්න, පුහුණුව මදකමක් නම් පුහුණුවට යොමු කරවීම්, කළමණාකරණ අධික්ෂණ අඩුපාඩුවක් නම් ඒක නිවැරදි කර ගැනීමටත් කටයුතු කරනවා. වඩාත්ම වැදගත් දේ සන්නිවේදනය හා පුහුණුව කියන එක මම කියන්න ඕන.

Q: කතාව වෙනත් පැත්තකට යොමු කළොත්, මේ කොරෝනා සිද්ධියත් එක්ක හෝටල්, සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට බලපෑමක උනා කියලා අපි හැමෝම දන්නවා. ඒක කොහොමද ඔබ දකින්නෙ ඔබේ අත්දැකීමුත් එක්ක?

මගේ අත්දැකීමුත් එක්ක බැලුවොත් ඒක හිතාගන්න බැරි දෙයක්. මට මතකයි පහුගිය අවුරුද්දෙ මාර්තු 15 හදිසියේ අපිට රැස්වීමක් කැඳවලා තිබ්බා. Zoom එකෙන් තාම අපි සම්බන්ධ වුනේ. ලොකු Hotels වල කළමණාකාරවරුත් එතන හිටියා. රැස්වීම පැය 8ක් විතර තිබුණා. වතුර විතරයි මුළු රැස්වීම පුරාවටම. කන්න යන්නවත් වෙලාවක් උනේ නෑ. ඒකෙදි කීවා තව සතියකින් හොටෙල් ඔක්කොම වහන්න ඕන කියලා. එතනදි මට මුලින්ම ඔලුවට ආවෙ කොහොමද අපි කවදාවත් වහන්නෙ නැති අපෙ හොටෙල් වල ප්‍රධාන දොරවල් වහන්නෙ කියලා?

ඒ වගේම වැඩ කරන මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියලා. පස්සෙ කතා වුනේ HR Department එකත් එක්ක කතා කරලා එයාලට පඩි ගෙවන්න. ආන්ඩුවෙන් විසඳුමක් දෙනකන්. ඊට පස්සෙ තමා ආණ්ඩුවෙන් අපිට FURLOUGH SCHEME එක වගේ ඒවා දීලා යම් තැනකට ගත්තෙ. ඒත් ලන්ඩන් හොටෙල් වල මිනිස්සු 40% කට පමණ රස්සා අහිමි වුනා. අදටත් අපි Food & Beverages කරන් නෑ. Restaurant වල කාර්යය මණ්ඩල ගෙදර ඉන්නෙ. ඒවගේම ඒ වෙනකොට 80%ක් 90%ක් වගේ සංචාරකයො පිරිලා හිටියෙ. මොකද අප්‍රේල් උත්සව සමයට මිනිස්සු ලන්ඩන් එන්න පටන් ගන්න කාලෙනෙ. ඒත් එක්කෙනා එක්කෙනා යන්න පටන් ගත්තා. එයාලගෙ ඉතුරු මුදල් දෙන්න වුනා. වසංගතය සම්බන්ධ යාවත්කාලීන වෙන තොරතුරු අනෙක් හොටෙල් වලට බෙදා හරින්න වුණා. ඒ කාලෙ අපි පැය 24 වැඩ කළා නිදි වරාගෙන. ටිකක් අමාරු කාලයක් වුනා ඉතින්.

Q: එතකොට හොටෙල් වලින් බහුතරයකට FURLOUGH හම්බුණාද? නැත්නම් තෝරාගත්ත පිරිසකට ද?

එක එක හොටෙල් වල එක එක විදිහට සිද්ධ වුණේ. අපේ Zero hour කොන්ත්‍රාත් පදනමට ගත්ත අයට එහෙමම ගෙදර නවතින්න වුණා. මාස 6 පදනමට ආපු අයට ඉතිරි මාස 3 පඩි දීලා ඉවත් වෙන්න කිව්වා. වසරක පදනමට ආපු අයත් එක්ක ගිවිසුමක් ඇතිකරගෙන මාසයක පඩි දීලා එයාලටත් ඉවත් වෙන්න කීවා. ස්ථිර කාර්‍යමණ්ඩලයට FURLOUGH ලැබුනා. අපි දැන් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 12 වෙනකොට මේක තරමක් හෝ විසඳිලා යථා තත්වයට පත් වෙයි කියලා. (අප මෙම සාකච්ඡාව අප්‍රේල් 12 ට පෙර සිදු කළෙමු)

Q: FURLOUGH එකට අමතරව රජයෙන් හරි වෙන ආයතයකින් හරි ලැබුණද? හමුව් උපකාර කොහොමද

එතකොට FURLOUGH එකේදි රජයෙන් 70% කුත් ආයතනයෙන් 30% කුත් දීලා තමා ස්ථිර සේවකයන්ට පඩි නඩි ගෙව්වෙ. වැඩ කරපු අයට ප්‍රමුඛත්වය දෙමින් එම කටයුත්තක් වුනේය.

Q: දැන් ඔබගේ හොටෙල් වල වර්තමාන තත්ත්වෙ කොහොම ද? කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්තාන වලට දීල ද?

ඔව්. අපෙ හොටෙල් 3ක් වෙන් වෙලා තියෙනවා. (ගුවන් තොඉටුපොළෙන් එන අයට නිරෝධායනය වෙන්නට) කාලයක් තිබ්බා සම්පූර්ණ්‍යෙන්ම කොවිඩ්-19 ප්‍රතිකාර කරන්නම අපෙ රෝහල් වෙන් කරලා දීල තිබ්බා. ඒත් දැන් එහෙම කොරෝනා රෝගීන් නෑ නිරෝධයනය වෙන කට්ටිය විතරයි ඉන්නෙ. සෞඛ්‍ය නිළ්ධාරීන්, මාධ්‍ය වාරතා කරුවන් වගේ අයට ගැටළුවකින් තොරව අපි සේවාව සපයනවා.

Q: ඔබ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට රජය මේකට දෙන සහය ප්‍රමාණවත් ද?

පෞද්ගලිකව අපි හැම වෙලේම රජයට බනින්න හදන්නෙ හැම වෙලේම. මම හිතන්නෙ Government එක කරන්න පුළුවන් හැම දෙයක්ම පුළුවන් තරමින් කරලා තියෙන්නෙ. තව මොනාද කරන්න පුලුවන් කියලා මම දන් නෑ. ඒත් හැම අංශයකටම අදාළව පුළුවන් තරමින් දේවල් කරලා තියෙන්නෙ.

Q: කොවිඩ් වලින් පෙර තත්ත්වෙ බැලුවම සාමාන්‍යයෙන් ඔයාලට හිටියෙ දේශීය එන සංචාරකයොද? නැත්තන් විදේශ (Out of England) රටවලින් එන සංචාරකයොද?

ඒක හරි අමාරු ප්‍රශ්නයක් මේ ලන්ඩන් වගේ තැනක ඉඳන්. දැන් ජනවාරි ගත්තොත් හරි කාර්‍යබහුලයි ලන්ඩ. මොකද ක්ම්පැනි වල ලොක්කො එනවා ඉදිරි අවුරුද්ද සැලසුම් කරන්න. පෙබරවාරි සීතල අඩු වෙලා සංචාරකයො එන්න ගන්නවා. මාර්තු අප්‍රේල් වෙනකොටත් එහෙමම තමා. මම පහු ගිය කාලෙ පොඩි සමීක්ෂණයක් කළා ඒකෙ ප්‍රතිඵල වලට අනුව 60%ක් ව්‍යාපාරික කරයුතු වලට ආපු අය. ඉතිරි අය සාමාන්‍ය සංචාරකයො.

Q: කොවිඩ් තත්ත්වයත් එක්ක මම දැක්කා කොවිඩ් පාස්පෝට් (covid passport) වගේ ඒවා ඇවිත් තියනවා ඒ ගැන අදහස මොකක්ද?

මගේ අදහස කිව්වොත් ඒක ප්‍රායෝගික දෙයක්. මොකද ඔයා මම වැඩ කරන හෝටලේට එනවනම් කොවිඩ් පාස්පෝට් එකක් එක්ක මට තියෙන අවධානම අඩු කරගන්න කටයුතු කරගන්න පුලුවන් වෙනවා. ඒක මම හිතන්නෙ ප්ලාස්ටික් හැඳුනුම්පතක් වගේ වෙයි.

Q: එතකොට ඔබගේ යෝජනා තියනවද ඉස්සරහට ප්‍රායෝගිකව කරගෙන යන්න?

ඉදිරියේදී අපි guest ගෙ කාමරේට ගිහින් පිරිසිදු කරනවා වෙනුවට දවස් 3ක් වගේ ඉන්න අයෙක්ගෙ කාමරයක් ඔහුගේ ඉල්ලීමක් ආවොත් පමණක් (අවශ්‍යම වුනොත්) ඒ අවශ්‍යතාව සපුරනවා හැර නිතර ඔවුන් හා ගැටෙන්න යන් නැතුව කටයුතු කරන්න තමා හිතන්නෙ.

Q: කාර්යමණ්ඩලේ අය මේ විදිහට වැඩ කරන්න කැමතිද? කවදා වගේ විවෘත කරන්න පුලුවන් වෙයිද?

අපි නිල වශයෙන් අප්‍රේල් 12 වෙනකොට තෝරගත් පාර්ශව වලට හෝටල් විවෘත කරනවා සහ විනෝදාස්වාදයට පැමිණෙන්නන්ට හැර සාධාරණ හේතු වලට ලන්ඩන් එන අයට විවෘතයි. දැනටමත් Booking වැටෙනවා. 40% වගේ වැඩි වීමක් තියනවා Booking වල.

Q: තව එකක් දැන් විවිධ ජාතීන් ඉන්නවානෙ මෙහෙ, Brexit එක කොහොමද ඔබලාට බලපෑවෙ?

අපිට ඇත්තටම බලපෑවෙ නෑ Brexit එක. අපෙ වැඩ කරන අය බහුතරයක් තාවකාලිකව මෙහෙ රැඳෙන්න ආපු අය. එයාලා ඒ කාලෙ ඉවර වෙලා යන නිසා ඒක බලපාන් නෑ. දිගටම ඉන්න අයට බලපාන්නෙත් නෑ. අලුතෙන් එන, ඇවිත් ඉඳලා ඒ කාලෙ දිගු කරගන්න බලන් ඉන්න අයට තමා බලපාන්නෙ.

Q: අලුත් දෙයක් ගැන කතා කළොත්, ඔබගේ අලුත් ව්‍යාපාරයක් ගැන ආරංචි වුනා?

ඔව්. මම දැන් එංගලන්තෙම අවුරුදු 20ක් හොටෙල් වල ඉන්නෙ. Regional Manager තත්ත්වෙන් ඉස්සරහට යන්න තව ගොඩක් කල් යාවි කියලා හිතුනා. ඒ නිසා මගෙ පරන තිබුණු Travel Agency එකක් මගෙ Business Partner එක්ක එකතු වෙලා Rebrand කරලා ගත්තා FLYAWAYPLANNER කියලා. ඉස්සරහට මම Best western Hotels වල උපදේශකයෙක් විදිහට කටයුතු කරන්න තමා හිතන් ඉන්නෙ මගේ ව්‍යාපාරෙට වැඩි අවධානයක් දීලා.

මගේ ව්‍යාපාරෙ ගැන කිව්වොත් මම ඒකෙන් කරන්නෙ ලංකාවෙ සංචාරක කර්මාන්තයට උදව්වක් දීම. අපි මෙහෙ එංගලන්තෙ ඉඳලා ලංකාවෙ හොටෙල් 300ක වගේ පැකේජ අරගෙන බ්‍රිතාන්‍යයන්ට හඳුන්වා දෙනවා. එංගලන්තෙ ඕනම තැනකින් පුද්ගලයා අරගෙන ගුවන්තොටුපොළට ඇරලවලා ලංකාවට ගියාම එතනින් නැවත සම්බන්ධ වෙලා සංචාරකයට අවශ්‍ය විදිහට පැකේජය වෙනස් කරලා හදලා දෙනවා අවශ්‍යතාවය අනුව. ඒ වගේම ලංකාවෙ ඉඳලා එංගලන්තෙට එන අයට්ත් නොමොලේ උපදෙස් දීලා අවශ්‍ය උදව් උපකාර කරන්නත් සූදානම්. මොකද මෙහෙට ආවම ලංකාවෙ අය අසරණ වෙනවා හරි උපදෙසක් නැතුව. ඒකට පිළියමක් දෙන්න අපි ලෑස්තී

Q: කොරෝනා තත්වෙත් එක්ක අලුත් අදහස් එහෙම තියනවද මේ ව්‍යාපාර promote කරන්න.

ඔහු අපිට ශ්‍රී ලංකා Tourism Board එකෙන් දැනට Bubble Hotel දෙසීයක් ලබාදීලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා එය වැඩි වෙයි කියලා .මම හිතන විදියට නොවැම්බර් පමණ වන විට ශ්‍රී ලංකාව Tourism වල ඉහලම ස්ථානයට පැමිණෙයි කියලා. මේ Concept එකේදි Travel කරන්න Bubble Place තියනවා ඒ ස්ථානය වල යන්න් පුලුවන් Bubble Hostel වල නවාතැන් ගන්න පුලුවන්.

Q: දැනට ලංකාවට යන්න විමසීම් ලැබිලා තියෙනවාද?

නොවැම්බර්, දෙසැම්බර්, ඔක්තෝබර් වගේ මාස වල දී ලංකාවට යන්න ගොඩ දෙනෙක් ඉල්ලීම් ලැබිලා තියෙනවා.

Q: ලංකාවේ hotel ක්ෂේත්‍රයෙන් කොහොමද මේ කටයුතු සඳහා ලැබෙන සහයෝගය ඔවුන් කැමැත්තක් දක්වනවා ද මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න.

ඇත්තටම ඔවුන් බොහොම කැමතියි ලොකු සහයෝගයක් ලැබෙනවා අනිත් දේ තමයි මං හරහා මේ විදිය හොටෙල් එකක් ගත්තොත් ගොඩක් අඩු මුදලකට ලබා ගන්න පුළුවන් මොකද මං direct contact එකත් එක්ක ගනුදෙනු කරන්නේ මට කියන්න පුළුවන් මම best price දෙනව කියලා මොකද තෙවන පාර්ශවය සහභාගිත්වය නැති නිසා.

Q: අවසානෙට ඇහුවොත් අවුරුදු 5 කට පස්සෙ යන්න බලාපොරොත්තු වෙන තැන මොකක්ද?

ගොඩක් නිහතමාණී වෙලා යාලුවො පවුලෙ අය එක්ක ඉන්න තමා බලාපොරොත්තුව. හොටෙල් ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන් නෑ. උපදේශන කටයුතු කරගෙන ඉඳීවි. ඒවගේම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඒවා දියුණු කරගෙන ඉන්න තමා බලාපොරොත්තුව. සංචාරක පැත්තෙන් ලාංකිකයන්ට අවශ්‍ය උදව් කරගෙන ඉදිරියේදි කටයුතු කරනවා.

ලංකාවෙන් පිට හිටිය ද ලාංකිකයින්ට සිය උපරිමයෙන් උදව් කරන්නට සැරසී සිටින මෙවන් විශිෂ්ට ලාංකිකයින් අපට මහඟු සම්පත්. එවන් තවත් සුවිශේෂී ලාංකික සහෘදයෙක් සමඟ නැවත කතා බහකින් හමුවන තුරු, මෙවර “Coffee Chat” විශේෂාංගය මෙලෙසින් නිමාව සනිටුහන් කරන්නෙමු.


Sesatha Coffee Chat - Segment 4

Covid-19 සමග ගැටෙමින්, එක්සත්‍ රාජධානියේ ජීවිත සුරකින්නට වෙර දරන සොඳුරු, ලාංකීය සුව විරුවෙක්... ශල්‍ය වෛද්‍ය (Surgeon)තුසිත හෙට්ටිආරච්චි

Lassana.com

Sesatha Coffee Chat - Segment 3

එංගලන්තයට ගීත මිහිර කැන්දන, ලාංකීය සප්ත ස්වර හසුරවන්නා... සුනෙත් චමින්ද

Lassana.com

Sesatha Coffee Chat - Segment 2

එක්සත් රාජධානියේ ලාංකීය නම තැබූ, ඉංජිනේරු ලේඛකයා... චන්දන ගුණසේකර

Lassana.com

Sesatha Coffee Chat - Segment 1

මංජුල ප්‍රසාද් ප්‍රනාන්දු

Lassana.com