free counter statistics


දශක දෙකක අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය රාජ්‍යතාන්ත්‍රිකව යා කරවන, අපේ මහ කොමසාරිස්තුමිය

මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : ඔවදිනී තෙන්නකෝන් සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ

“Sesatha Coffee Chat” විශේෂාංගය පරිශීලක ඔබ වෙතට ගෙන ආ දින සිට අද වන තුරු ඔබ ඉතා ආසාවෙන් ඒ හා සම්බන්ධ වූ බව නොරහසකි. විවිධ වෘත්තිකයින්, කලාකරුවන් සමඟ මින් පෙර අපි දොඩමළු වුනෙමු. කතා බහ ආර වෙනත් මඟකට යොමු කරමින් විශේෂ ශ්‍රී ලාංකිකයකු හා කතාබහකට යොමු වීමට අපට සිතුණි. මව් රටින් පිට වෙසෙන ඔබ මා සියල්ලන්ටම සුවිශේෂී මෙම ශ්‍රී ලාංකිකයා සමඟ කොවිඩ් වැළැක්වීමේ උපදේශයන්ට අනුකූලව Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී කතාබහට මුල පිරුවෙමු.

ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය, කොළඹ උපත ලබන මෙම චරිතය වෙන කවුරුත් නොව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය ගරු සරෝජා සිරිසේන මැතිණියයි .

මූලික ප්‍රාථමික අධ්‍යාපනය එංගලන්තයෙන් අරඹන එතුමිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කොට ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ දේවි බාලිකා විද්‍යාලයට යොමු වී එහිදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අවසන් කොට, උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර University of Melbourne වෙත යොමු වෙනවා. මෙතැන් සිට අප කතා බහට යොමු වෙමු.

Childhood memories with her parents

During an event at the Ministy of Trade

Q: මෙම කාර්යබහුල දිනවල ඔබගේ වටිනා කාලය ලබා දීම ගැන පළමුව අපි ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා . විදේශ සේවාව කියන්නෙ ඔබතුමියගේ මුල්ම රැකියාවද නැත්නම් වෙන රැකියාවක නිරත වුනාද මීට පෙර?

මම විදේශ සේවා විභාගයට මුහුණ දීලා ප්‍රතිපල එනකම් වෙළඳ අමාත්‍යාංශයේ (Ministy of Trade) සේවය කලා. ඉන්පසු විදේශ සේවයට සම්බන්ධ උනා. ඇත්තටම මම හරිම වාසනාවන්තයි. මොකද මේ වෙනකොටත් අපේ විදේශ සේවා කටයුතුවල නිරත වෙලා ඉන්නෙ 200 කටත් අඩු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක්. මේ වෘත්තිය දිහා බලාගෙනම තමා මගෙ උපාධිය කළෙත්. ඊට අදාළ විෂයයන්ම තමා කලේ. අවුරුදු 18 ඉඳන් තිබුණු ඒ හීනෙටම යන්න ලැබීම ගැන සතුටුයි ඉතින්.

Q: ඒ කියන්නෙ කොහෙන්ද මුලින්ම පටන් ගන්නෙ? ලංකාවෙන්ද?

විශ්ව විද්‍යාලෙදි මම ඉගෙනගත්තෙ දේශපාලන විද්‍යාවයි, අන්තර්ජාතික සම්බන්ධතායි, අන්තර්ජාතික දේශපාලන ආර්ථිකය කියන විෂයයන්. අනිත් එක 90’ දශකය වෙනකොට ලංකාව ගැන විදේශයන් වල තිබ්බ ප්‍රතිරූපය හොඳ එකක් නෙවෙයි. ඒක මට ප්‍රශ්නයක් වුනා. පිටරට ඉන්න අපිටනෙ පේන්නෙ ඒකත්. ඒත් ලංකාවෙ ප්‍රතිරූපය කඩා වැටිලා තියෙද්දි රටින් පිට වාසය කරන ලාංකික ප්‍රජාවගෙ තිබ්බ හැඟීම් මට හොඳට තේරුනා.

ඒ වෙනකොට සංචාරක කර්මාන්තය ලොකුවට පැතිරිලා තිබුනෙත් නෑනෙ ලංකාවෙ. 2009 දී ලංකාවෙ තිබ්බ යුද්දෙ ඉවර කිරීම තමා මෑත යුගයෙ ලංකාවට ලැබුණ ලොකුම භාග්‍යය. මොකද ඒ වෙනකන් අපිට පිටරටක ගිහින් කියන්න පුලුවන්කමක් තිබුනෙ නෑ ලංකාව ආරක්ෂිතයි කියලා. තව එකක් තමා 96’ ලෝක කුසලාන සිද්ධිය (ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාව ලංකාවට ඒම ප්‍රතික්ෂේප කිරීම). ඕස්ට්‍රේලියාවෙ ඉන්නකොට ඒ රට අපෙ රටට එන්න බෑ කිව්වම ඒක ගොඩක් දැනෙනවා දුක හිතෙනවා. ඒ දේවල් මාව මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න උනන්දු කළා.

1998 තමා මම මුලින්ම විදේශ සේවා කටයුතු වලට යොමු වෙන්නෙ. ඊට පෙර අවුරුද්දක් පමණ වෙළෙඳ ඇමති කාර්යාලයේ සේවය කළා. මොකද මම පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයට කැමැත්තක් දක්වපු නිසා. ඊට පස්සෙ අවුරුදු 3ක් පමණ ලංකාවෙ වැඩ කරලා, 2001 දී මම පැරීසියට යනවා පළවෙනි පත්වීම ලබලා. දැන් මේ ඉන්නෙ හයවෙනි තනතුරේ. මීට පෙර මම ඉඳලා තියනවා පැරීසිය, බ්‍රසල්ස්, ජීනීවා, මුම්බාය, වියානා සහ දැන් මෙහෙ.

working with late Mr. Lakshman Kadirgamar in early days in her career

Q: එතකොට ඇත්තටම, බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කියන්නෙ අභියෝගාත්මක වැඩක්. කොහොමද ඔබතුමිය ඒකට යොමු වෙන්නෙ?

රටක මහකොමසාරිස් නියෝජනය කරන්නෙ ජනාධිපතිවනෙ. ඒකට සමහර වෙලාවට විදේශ සේවා නිළධාරියෙක්ව තෝරගන්නවා. නැත්නම් පිටින් කෙනෙක්ව තෝරගන්නවා. ඒකට රටේ නායකයගෙ විශ්වාසය සහ කැමැත්ත තියෙන කෙනෙක්ව බලලා තෝරනවා.

Q: කොහොමද ඔබතුමිය බ්‍රිතාන්‍යය මහකොමසාරිස් තනතුරට සූදානම් වුනේ? අලුතින් අධ්‍යයනක් කළාද වැඩ පටන් ගන්න කළින්?

අනිවාරෙන්ම. මේ මගෙ 24 වෙනි අවුරුද්ද විදේශ සේවා කටයුතු වල. ඊට කළින් මේ විෂය හදාරලා තමා ඉන්නෙ. මේක කොටස් දෙකක් තියෙනවා එකක් දැනුම පැත්ත, අනික ප්‍රායෝගිකව කටයුතු කිරීම. අපිට කොච්චර දැනුම තිබුනත් අපිට අනිත් කෙනාගෙ හැසිරීම කලින් තිරණය කරගන්න බෑනෙ. ඒ නිසා මේකට හොඳ ප්‍රායෝගික හැකියාවක්, අත්දැකීමක් තියෙන්න ඕන.

LondonZ

Q: දැන් මෙහෙ ආවම මහරැජිනගෙන් අක්තපත්‍ර ලබාගන්න තියනවා. ඒක කොහොමද ඇත්තටම වෙන්නෙ? අපි ඡායාරූප කිහිපයක් දැක්කා ඒකෙ.

ඒක මං හිතන්නෙ ලෝකෙ තියන අක්තපත්‍ර ලබාදීමේ උත්සව වලින් ඉතාම වැදගත් එකක්. එයාලා ඒ සාම්ප්‍රදායික ක්‍රමයන් ඒ විදිහටම පවත්වගෙන ඇවිල්ලා තියනවා. ඇත්තටම මම හරි වාසනාවන්තයි මොකද මම තම්,ආ කොවිඩ් එන්න කලින් අවසානෙටම අක්තපත්‍ර භාරගත්තෙ. ඊට පස්සෙ ඒ දේ සිද්ධ වුනේ නෑ මොකද මහ රැජින බකිංහැම් මාළිගේ ඉඳලා වින්ඩ්සර් කාසල් එකට ගියා. ඒක හරි වටින අත්දැකීමක්. පොදුරාජ්‍යමණ්ඩලීය රටවල නායකයින්ව එක්කගෙන යන්න එවන්නෙ අශ්වයො හතරක් ඉන්න අශ්ව කරත්තයක්. ඒවා ගොඩක් බැරෑරුම් දේවල් නොවුනට අපේ රාජකාරියේ තියන අලංකාර දේවල් තමයි ඉතින්.

මම පුංචි කාලෙ මෙහෙ ඉද්දි හීනෙන්වත් හිතුවෙ නෑ බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව ඇරලා මෙහෙම පිළිගැනීමක් ලබාගන්න පුලුවන් වෙයි කියලා. මේ කතාව මම එළෙසෙබෙත් මහ රැජිනටත් කිව්වා. මම පුංචි කාලෙ, වයස අවුරුදු 5දී මේ මාළිගාවෙ ගේට්ටුව ඉස්සරහට වෙලා හිටියා කියලා. ඒක හරිම සරල ඒත් ගාම්භීර උත්සවයක්. අපිත් එක්ක තව හතර දෙනෙක් එක්ක යන්න පුළුවන්. මමත් අපෙ මහකොමසාරිස් කාර්යාලෙ ඉන්න ප්‍රදාන අංශ නියෝජනය වෙන විදිහට හතර දෙනෙක් එක්ක ගියා.

Q: මහකොමසාරිස් කාර්යාලය කිව්වම අපිට සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ වීසා, උප්පැන්න සහතික වගේ දේවල්. ඒත් ඊට වඩා සේවාවක් වෙනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කළොත්?

ඔව්. ඔබ දැන් ඔය කියන්නෙ කොන්සියුලර් සේවාවන් (Consular services) ගැන. ඒ කියන්නෙ මෙහෙ ඉන්න මහජනතාවට අපි කෙලින්ම සපයනු ලබන සේවාවන්. ගමන් බලපත්‍ර, උප්පැන්න ලියාපදිංචිකිරීම සහ නිකුත් කිරීම, විවාහ, මරණ, දිවිත්ව පුරවැසිභාවය සම්බන්ධ කටයුතු, විශ්‍රාම වැටුප් වගේ දේවල් තමා කොන්සියුලර් සේවාවන්. ඒ වගේම කියන්න ඕන, මේ කොවිඩ්-19 කාලසීමාවෙත් අනිවාර්‍යයෙන් වහපු දිනවල ඇරෙන්න අනෙකුත් සියළු දිනවල අපෙ කණ්ඩායම දැඩි කැපවීමකින් මහන්සියකින් කටයුතු කරලා මහජනතාවට මේ සේවාවන් සැපයුවා. Online ක්‍රමේට වෙන්කරවීම් (Appointments) ලබාදීලා මහජනතාව ගැවසෙන එක අවම කරගෙන.

තවත් දෙයක් තමා මේ කොවිඩ්-19 කාලසීමාවෙ මෙහෙන් ලංකාවට පිටත් වෙන අයට අවශ්‍ය සේවාවන් සපයන එක. ඒ යන පුද්ගලයින්ගෙන් එක් එක් අයට වෙන වෙනම අවශ්‍ය කටයුතු කරලා දෙන්න වුනා. යම් යම් අතපසුවීම්, ප්‍රමාදවීම් වුනත් අවශ්‍ය කටයුතු මනාව කරලා දෙන්න අපිට පුලුවන් වුනා. ඒ වගේම ලංකාවෙ සංස්කෘතිය මෙහෙ ඉන්න අයත් එක්ක හුවමාරු කරගන්න කටයුතු. ලංකාවෙන් පිට ඉන්න අපිට ලංකාවෙ කොඩිය දැක්කත් සතුටක්නෙ. ඒ නිසා මේ මහකොමසාරිස් කාර්යාලයට කෙනෙක් එද්දි තමන්ගෙ මහගෙදරට ආවා වගේ හැඟීමක් දැනෙන්න අපි කටයුතු කරනවා

තව දෙයක් තමා වෙළෙඳකටයුතු පැත්ත. ලංකාවෙ අපි හොඳ වෘත්තිකයො. නමුත් ව්‍යවසාය පැත්තට යොමු වෙන්නෙ හරි අඩුවෙන්. ඒ අඩුව පුරවන්න වැඩපිළිවෙළක් කරගෙන යනවා. මම බර්මිංහැම් පන්සලේ කාශ්‍යප හාමුදුරුවොත් එක්කත් කත කරා. ඒ දේවල් වලට අවශ්‍ය අවසර ලබාගැනීම් ආදිය අපි කරලා දෙන්න පුළුවන්. ඒකට අපෙ තියෙනවා වෙළෙඳ අංශයක්. ඒ හරහා අපිට ලංකාවෙ මේ වෙනකොට තියෙන නව අවස්ථා ගැන කියලා දෙන්න පුලුවන්. තොරතුරු තාක්ෂණැ අංශෙනුත් අපි Referral System එකක් හඳුන්වලා දුන්නා මෙහෙදි. මොකද දැන් IT පැත්තෙ සේවාවන් වැඩී කලින්ට වඩා.

ද්වීපාර්ශ්වික සබඳතා කතා කරද්දි මහා බ්‍රිතාන්‍ය කියන්නෙ වැදගත්ම තැනක්. යටත් විජිත් කාලය සම්බන්ධයෙන්, අපේ මොන වගේ අදහසක් තිබුණත් අපේ අධ්‍යාපන ක්‍රමය, නීති පද්ධතිය වගේ දේවල් පවා ආභාශය අරන් තියෙන්න මෙහෙන්. ඒ වගේම ලංකාවෙ දෙවෙනි අපනයන වෙළෙඳපොල මහා බ්‍රිතාන්‍ය, දෙවෙනි සංචාරක පැමිණීම සහිත රට. ඒ වගේම මේක (බ්‍රිතාන්‍යය) ලාංකිකයො ගොඩක් ඉන්න රටක්. 70’ දශකයේ ඉඳන් ආපු අය ඉන්නවා. අපේ රට ගැන තීරණ ගන්නකොට බොහෝ විට බ්‍රිතාන්‍යය ගන්න තීරණේ තමා සමස්ත බටහිර ප්‍රජාවගේම තීරනය වෙන්නෙ.

with London High Commission Staff

Q: එතකොට මැඩම් Brexit එකෙන් මොනවා හරි අවස්ථා ආවද?

ඔව්. යුරෝපා සංගමෙන් දීලා තිබුණු කොන්දේසි මාලාවට සාමානම කොන්දේසි මාලාවක් මෙයාලත් දීලා තියනවා. ඒ වගේම Brexit එකෙන් පස්සෙ මෙයාලා (බ්‍රිතාන්‍යය) රටවල් 55ක් එක්ක ද්වි පාර්ශ්වික සම්බන්ධතා ඇතිකරගෙන තියෙනවා. අපිත් උත්සහ කරන්නෙ ඒ තැනට එන්න ද්වි පාර්ශ්වික වෙළෙඳ සම්බන්ධතා වැඩිදියුණු කරගෙන. ඒ වගේම මෙයාලටත් ඒකෙන් ප්‍රතිලාභ තියනවා. මොකද අපිට ආසියාවෙ වෙනත් රටවල් සමඟ සම්බන්ධතා තියෙන නිසා ඒ හරහා එයාලට අවශ්‍ය ඇතැම් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුලුවන් වගේම ලංකාව අග්නිදිග ආසියාතික වෙළෙඳ මාර්ගයේ මැද ඉන්දියන් සාගරයේ පිහිටලා තිබීමත් වැදගත්කමක් වෙනවා.

Q: එතකොට මැඩම් දැන්, මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක මිනිස්සු වෙබ් සයිට් හරහා, දුරකතන වලින් සේවාව ලබාගන්න පුරුදු වුනා. ඒ තත්ත්වෙ දිගටම තියාගන්නවද?

සමහර සේවාවන් දිගටම online සපයන්න උත්සහ ගන්නවා. තවත් දෙයක් තියනවා, දුර පැති වල ඉන්න අය වෙනුවෙන් අපිට ජංගම සේවාවන් සපයන්න පුළුවන්. හැබැයි ඒවට අපි විශේෂයෙන් ලැස්ති වෙන්න ඕන. ඒ වගේම එහෙම දෙයක් පිළිබඳව දැනුම් දුන්නම, ඒ අයගේ අවශ්‍යතා සහ ගැටළු කලින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

LondonZ

Q: Website එකෙත් වෙනසක් වෙනවද? අලුතින් සේවාවන් ලබාගන්න පුලුවන් විදිහට?

උපරිම බලනවා එහෙම කරන්න. නමුත් මේ ලියකියවිලි හරි වැදගත්, සියුම් ලියකියවිලි වැඩ. මේවා සම්බන්ධයෙන් අවභාවිතාවන් කරන්නත් ඇතැම් කණ්ඩායම් බලාගෙන ඉන්නවා. ඒ නිසා මේවා එහෙම සම්පූර්ණයෙන්ම online කරන්න බැහැ. පහුගිය කොරෝනා කාලෙ අපිට රැයක් දවාලක් නැතුව මිනිස්සු කතා කළා. බය වෙලා කතා කරපු අවස්ථාවලදී පවා අපි ඒ හැම දේකටම උත්තර දුන්නා. මොකද ශිෂ්‍යයො, වෛද්‍යවරු, නිවාඩු ගතකරන්න ආපු අය එහෙමත් හිටියනෙ.

ඒ අයට අපි උදව් උපකාර කරන්න ඕනනෙ. මේ වෙනකොටත් online appointment වෙන්කරවාගෙන සේවාව ලබාදීම සිදුවෙනවා. ඉස්සරහටත් ඒකම කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. එය සාර්ථක කර ගැනීම සදහා සැම දෙනාගේම සහයෝගය කාරුණිකව ඉල්ලා සිටිනවා..දැන් ලංකාවට යාමේදී කෙලින්ම යන්න පුලුවන්. කොවිඩ් ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරලා සාමාන්‍ය විදිහට.

Q: වෙන පැත්තකට ගියොත්, දැන් සාමාන්‍ය කෙනෙක්ට හමු වෙන්න නොහැකි රාජ්‍ය නායකයො හමුවෙන්න, විශේෂ අවස්ථා වලට යන්න ලැබෙනවා, ඒ ගැන මතක් කළොත්.

මම. මේ විදේශ සේවයට ආවට පස්සෙ හම්බුණ වැදගත්ම කෙනෙක් තමා මෙයා (ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගෙ රූපයක් පෙන්වමින්). මම සම්බන්ධ වෙනකොට එතුමා තමා විදේශ ඇමති. එතුමා තමා මේ විදේශ සේවය පිළිබද දැනුවත් කරලා මේක මේ තැනට ගේන්න කටයුතු කළේ. එතුමාගෙ මගපෙන්වීම් යටතේ වැඩ කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක්. ඒ වගේම එතුමාගේ ඝාතනය ලාංකීය විදේශ සේවා ක්ෂේත්‍රයට ලොකු පාඩුවක් ඇත්තටම.

මට මුලින්ම එහෙම කෙනෙක් හම්බුනේ 2000දි ඊජිප්තුවට ගියාට පස්සෙ හොස්නි මුබාරක් මහතාව. මගෙ ජීවිතේ තවත් විශේෂ අවස්ථවක්, චීන උප ජනාධිපති කෙනෙක් හමුවුනා බණ්ඩාරණායක මැතිණියගෙ අවමංගල්‍යයෙදි. 2003දි මට අවස්ථාවක් ලැබුණා වතිකානුවට යන්න. එහිදී මට ජුවාන් පාවුළු පාප් වහන්සේ මුණගැසෙන්න පුලුවන් වුනා. ප්‍රංශයේ හිටපු ජනාධිපති Jacques Chirac හමුවෙන්න. ආසියාවේ ලොකු සේවයක් කරපු රාජ්‍ය නායිකාවක් වන ශේක් හසීනා හමුවෙලා තියෙනවා. 2018දි හම්බෙන්න අවස්ථාවක් ලැබුණා දැනට ඉන්න නේපාල ජනාධිපතිනිය විද්‍යා දේවි බණ්ඩාරි මැතිණියව.

. තව මම මුම්බායි වල කොන්සියුලර් ජෙනරාල් වෙලා ඉන්නකොට එහෙ තිබුණු සමුළුවකදී මට හමුවුණා චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමාව. එතකොට ත්ව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාව හමුවෙලා තියෙනවා අපෙ ජනාධිපති තුමා එක්ක ද්වීපාර්ශ්වික හමු තියෙනකොට. තව මියන්මාර් වල අවුන්සාන් සුකී මහත්මිය හමුවෙලා තියනවා. ඔස්ට්‍රියාවෙ ඉන්නකොට ඒ රටේ නායකයො වගේම එහෙ ඉඳන් කටයුතු කරන වෙනත් රටවල් තියෙනවා ස්ලොවැකියාව, ස්ලොවේනියාව, සර්බියාව සහ බොස්නියාව වගේ. ඒ රටවල නායකයොත් හමුවෙලා තියෙනවා අක්තපත්‍ර භාර දෙන වෙලාවෙ.

ඒ වගේම අපි උප තානාපතිවරු හැටියට ඉන්නකොට බෙල්ජියමෙ රජතුමාහමුවෙලා තියනවා. ඒ වගේම තවත් කෙනෙක් තමා හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ ගෙ පුත්‍රයා. ඔහුත් ෆිදෙල් කැස්ත්‍රෝම තමා.

with Federal President of Austria, H.E. Dr Alexander Van der Bellen

with President of Slovenia, H.E. Borut Pahor

with Director-General of the United Nations Industrial Development Organization (UNIDO), Mr. Li Yong

Q: මේ විදේශ සේවයෙදි ගොඩක් වෙලාවට රටින් රටට යන්න වෙනවා කෙටි කාල සීමා ඇතුළත. කොහොමද ඔබ එකට පුරුදු උනේ?

මම පොඩිකාලෙ ඉඳලම රටින් රටට ගිය අත්දැකීමක් තිබුණා. මේක ලොකු අවස්ථාවක්. නිකන්ම රටකට යැමක් නෙවෙයි. රට නියෝජනය කරලා යන්නෙ. වෙන රටකට ගියත් ලංකාවෙ තමා ඉන්නෙ හිතින්.ිතාම වැදගත් දෙයක් ඉතින්. ඒක මට ඇතිවෙන්නෙ නෑ කවදාවත්ම. මාව තව තවත් උනන්දු කරවනවා මේ සේවයට. මේකෙදි පිටට නොපෙනෙන තවත් දෙයක් තමා අපිට අහිමි වෙන අපේ සම්බන්ධතා. නෑදෑ සම්බන්ධතා, මිත්‍රයෝ වගේ දේවල්. ඇත්තටම විදේශ සේවයෙ නිරත වෙන කෙනෙක්ට පවුල් ජීවිතය හරි අමාරු එකක් වෙනවා. විශේෂයෙන් සහකරුවෙක් හෝ සහකාරියක් ඉන්නවනම් විවිධ ගැටළු මතුවෙනවා. රැකියාව සම්බන්ධව ඉඳන් විවිධ ආකාරයෙන්. කාන්තාවක්නම් ඒක තවත් වැඩියෙන් බලපානවා ලංකාවෙ සංස්කෘතියත් එක්ක. මේ සේවයේ මේ වෙනකොටත් කාන්තාවක් රැසක් නිරත වෙලා ඉන්නවා. අනෙකුත් අංශවල වගේම.

Q: එතකොට මැඩම් මම අහන්නමයි හිටියෙ. High Commission එක ඇතුලෙ බලපැවැත්වෙන්නෙ ලංකාවෙ නීතියද?

ඔව්. මේ ලංකාවට අයිති සීමාවක්. මේක ඇතුළත (එතුමිය සිටින තැන අවට පෙන්වමින්) ක්‍රියාත්මක වෙන්නෙ ලංකාවෙ නීතිය. ඒ වගේමයි මේ තානාපතිවරුන්ගේ වරප්‍රසාද හා මුක්තීන් පිළිබදව 1961දී ඇතිකරගත්තු වියානා සම්මුතියෙ ඇතුළත් වෙලා තියෙනවා. අපි ඒකට අනුව තමා කටයුතු කරන්නෙ.

Q: එතකොට රජයේ නිවාඩු එහෙම කොහොමද බලපාන්නෙ?

අපිට ලංකාවෙ නිවාඩු වලින් අනිවාර්ය නිවාඩු ටිකක් තියෙනවා. නිදහස් දිනය, සිංහල අලුත් අවුරුද්ද, වෙසක්, ඊද්, දීවාලි, නත්තල වගේ ප්‍රධාන ආගමික උත්සව වලට අදාළව නිවාඩු තියෙනවා. සහ බ්‍රිතාන්‍යයට අදාළව තෝරගත් රජයේඑ නිවාඩු කිහිපහක් එකතු කරලා අපෙ නිවාඩු සකස් කරගන්නවා. නැතුව රටවල් දෙකේම ඔක්කොම රජයේ නිවාඩු වලංගු වෙන්නෙ නෑ (සිනාසෙමින්).

Q: අවසාන වශයෙන්, මෙහෙ ඉන්න ලංකාවෙ ප්‍රජාවගෙන් ඔබතුමිය මොන වගේ සහයෝගයක්ද බලාපොරොත්තු වෙන්නෙ ?

මෙහෙ ඉන්න ප්‍රජාව ගොඩක් වැදගත් එකක්. සෑම වෘත්තියකම ඉන්න අය හරි වැදගත් විදිහට ඉන්නවා නම තියාගෙන. ඒක අපිට ලොකු හයියක්. මෙහෙ අය ඒගොල්ලොන්ව හමු උනාම ආය අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ එයාලා හිතාගන්නවා ලංකාව ගැන. අපි බලාපොරොත්තු වෙන්නෙ අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන එක, අපි සංවිධානය කරන වැඩසටහන් වලදි එහෙම. තව දෙයක් ලංකාවෙ වගේම මෙහෙ දේශපාලනය (local politicians) එක්කත් පුලුවන් තරමින් වැඩ කරන්න සහ වෙළෙඳ, ව්‍යවසායක කටයුතු වල නිරත වෙන්න.

web interview

මෙම ඉතා කාර්යබහුල දිනවල ඔබ තුමියගේ වටිනා කාලය ලබා දීම ගැන යලිත් වතාවක් අපි ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා

බ්‍රිතාන්‍යය දේශයේ වෙසෙන අපට මෙවන් මහ කොමසාරිස් තුමියක් ලැබීම ඔබ අප කාගේත් භාග්‍යයකි. මේ සිදු කරගෙන යන විසල් මෙහෙවර තවත් චිරාත් කලක් මහජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි සේසත අපි එකසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

ලාංකීය අනන්‍යතාව එක්සත් රාජධානිය තුළ විදහා දක්වන්නා වූ මෙවැනි සුවිශේෂී ලාංකික සහෘදයෙක් සමඟ මීළඟ විශේෂාංගයෙන් හමුවන තෙක් “Sesatha Coffee Chat” විශේෂාංගයේ සයවන දොඩමළුවට මෙලෙස නැවතීමේ තිත තබන්නෙමු.


Sesatha Coffee Chat - Segment 5

ලාංකීය ආගන්තුක සත්කාර කලාව තුළින් බ්‍රිතාන්‍යයේ හෝටල් කේෂ්ත්‍රයේ ඉදිරියටම ගිය ඉෂාන් කරු - Ishan Karu

Lassana.com

Sesatha Coffee Chat - Segment 4

Covid-19 සමග ගැටෙමින්, එක්සත්‍ රාජධානියේ ජීවිත සුරකින්නට වෙර දරන සොඳුරු, ලාංකීය සුව විරුවෙක්... ශල්‍ය වෛද්‍ය (Surgeon)තුසිත හෙට්ටිආරච්චි

Lassana.com

Sesatha Coffee Chat - Segment 3

එංගලන්තයට ගීත මිහිර කැන්දන, ලාංකීය සප්ත ස්වර හසුරවන්නා... සුනෙත් චමින්ද

Lassana.com

Sesatha Coffee Chat - Segment 2

එක්සත් රාජධානියේ ලාංකීය නම තැබූ, ඉංජිනේරු ලේඛකයා... චන්දන ගුණසේකර

Lassana.com

Sesatha Coffee Chat - Segment 1

මංජුල ප්‍රසාද් ප්‍රනාන්දු

Lassana.com