free counter statistics

Lassana.com


BOC UK

LondonsZ

සල්ලි උනන උල්පතක් කියන, මොකක්ද මේ Dropshipping?

person

වර්තමානය වන විට විද්‍යුත් වාණිජ්‍යය (E-Commerce) ලෝකය වෙනස් කළ සංකල්පයක් වී හමාරය. එනම් සන්නිවේදන තාක්ෂණය දියුණුවත් සමග භෞතික දුරස්ථ භාවය ඉක්මවා ගෝලීයකරණය හරහා ලොව සියලුම රටවල් සඳහා ඇඟිලි තුඩක දුර නිර්මාණය වීමයි. මිලදී ගැනීම්, තෝරාගැනීම්, මුදල් ගෙවීම් ආදී සියලුම කටයුතු තාක්ෂණික අවකාශයක් තුළ සිදුකර අඩු පිරිවැයකින් ලාභ උපරිම කරමින් දිනෙන් දින අතමිට සරුවන ව්‍යාපාර බිහි වේ. ජනතාව තම රන් හා සමාන වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමටත්, තම ඕනෑ එපාකම් සපුරාලීමටත් අඩුම කාලයක් වැය කරමින් මාර්ගගත සාප්පු සවාරි (Online Shopping) සහ අන්තර්ජාල ගැනුම් විකුණුම් වලට යොමු විය.

එලෙස එක් දිනක් තුළ අන්තර්ජාලය හරහා විකිනෙන මිලියන ගණනක් වූ භාණ්ඩ වලට තවත් වේදිකාවක් (Platform) සකස් කරමින් Dropshipping යන සංකල්පය ඉතා සාර්ථකව ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්ට උසස් සේවාවක් සපයමින් සිටී. එක්දහස් නවසිය හැට සහ හැත්තෑව දශකයන් හිදී තැපැල් ඇණවුම් හුවමාරුව මගින් මේ හා සම්බන්ධ සංකල්පය ප්‍රථමයෙන් ආරම්භ වූ අතර, 90 දශකය වන විට විද්‍යුත් වණිජ්‍යය දක්වා ද විකාශනය වෙමින්, 2000 වර්ෂය වන විට eBay, Amazon වැනි සමාගම් මූලිකව සම්බන්ධ වෙමින් ද, 2010 වර්ෂයේ සිට අද වන විට AliExpress, Shopify වැනි වෙබ් අඩවි එකතු වී අද අප කතා කරන Dropshipping යන සංකල්පය තෙක් දියුණු වී ඇත.

Lassana.com

ව්‍යාපාරික ලෝකය සංකීර්ණ වත්ම, උපකාරක සේවාවල දියුණුව සමගම මෙම නව සංකල්ප නිර්මාණය විය. Dropshipping වලදී ද සිදුවන්නේ Buying and Selling ව්‍යාපාරයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහිදි අපි විකුණන භාණ්ඩය අදාල Dropshipping store එක අයත් විකුණුම්කරු ලඟ භෞතිකව නොමැති වීමයි. අනෙක් වැදගත් කරුණ නම් Dropshipping ආරම්භ කිරීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවීම යි. එනම් සන්නිවේදන උපකරණයන් (Laptop/Mobile & Internet Connection ) පවතී නම් කුඩා මුදලකින් වුවද Dropshipping ආරම්භ කළ හැකි වීමයි. වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ බාහිරට නිරාවරණය වීම ගැටලුකාරී තත්ත්වයක් වන අතර මෙය සම්පූර්ණයෙන්ම නිවසේ සිටම සිදු කළ හැකි ආරක්ෂිත ව්‍යාපාර ක්‍රමයකි.

මේ කියන Dropshipping ක්‍රියාවලිය උදාහරණයකින් පැහැදිලි කරගනිමු. මේ සඳහා අප කවුරුත් දන්න AliExpress සහ eBay යන Website දෙක යොදා ගනිමු.

AliExpress තුළ යම් භාණ්ඩයක් අඩු වටිනාකමකට (£4) විකිණීමට ඇතැයි සිතමු. නමුත් එම භාණ්ඩය සාමාන්‍ය වෙළෙඳපොළේ යම් ඉහළ වටිනාකමකට අලෙවි වන භාණ්ඩයකි. එවන් අවස්ථාවක Dropshipping සඳහා අවස්ථාවක් ඇතිවේ. එනම්, අපට එම භාණ්ඩය AliExpress වෙතින් මිලදීගෙන eBay තුළ ඉහළ, සාධාරණ වටිනාකමකට (£10) නැවත අලෙවි කිරීමට යෙදවිය හැකිය. එසේ යෙද වූ විට eBay තුළින් ගණුදෙනුකරුවෙකු අපගෙන් එම භාණ්ඩය ඇණවුම් කළ පසු අපට එම ගණුදෙනුකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය ආදී විස්තර ලැබේ.

ඒ ලැබුණු විගස අප AliExpress වෙතින් එම භාණ්ඩය ඇනවුම් කළ යුතුය. එහිදී අප Shipping Details ලෙස ලබා දිය යුත්තේ eBay තුළින් අපගෙන් භාණ්ඩ ඇනවුම් කළ ගණුදෙනුකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය ආදී විස්තරයන්ය. එවිට AliExpress වෙතින් අපගේ ගණුදෙනුකරු වෙත භාණ්ඩය යවනු ඇත. ඔහු අප වෙත ගෙවනුයේ අප eBay තුළ වටිනාකම ලෙස දැක්වූ £10 ක වටිනාකමයි. නමුත් අප එම භාණ්ඩය වෙනුවෙන් AliExpress වෙත ගෙවිය යුත්තේ £4 ක වටිනාකමකි. එම වටිනාකම් දෙක අතර පවතින වෙනස, එනම් £6 ක වටිනාකම මෙම Dropshipping ක්‍රියාවලිය තුළින් අප ලබන ලාභය යි.

eBay Dropshipping කරගෙන යාමට බලාපොරොත්තු වෙන කෙනෙකුට ඊට පෙර සපුරාගත යුතු බාහිර සාධක කීපයක් තිබේ.

• eBay account එකක් තිබිය යුතුයි. (හොඳ තත්ත්වයේ Buyer rating තිබෙන එකක් නම් වඩාත් සුදුසුයි.)

• AliExpress account එකක්.

• PayPal account එකක්. (අනිවාර්යෙන්ම) (උපයන මුදල් තමා වෙත ලබා ගැනීමට)

• Blog Website එකක්.

• Alisave නම් extension එක විකුණුම්කරුගේ browser එකට add කර ගැනීම. (විකුණුම්කරු විකිණීමට බලාපොරොත්තු භාණ්ඩ වල Images download කරගැනීම සදහා)

• eBay fee / PayPal fee ගණනය කර ගැනීම සඳහා calculator එකක්. (Ex: Finalfee Calculator)

eBay හරහා Dropshipping කරන විකුණුම්කරුවන් බොහෝවිට විකුණුම් සිදු කරනු ලබන්නේ AliExpress හි තිබෙන භාණ්ඩයන් ය. මේ සඳහා විකුණුම්කරු සතු වන eBay buying account එක eBay selling account එකක් ලෙස පරිවර්තනය කර ගැනීමක් මූලිකව සිදු කළ යුතු වෙනවා. ඉන්පසුව විකුණුම්කරුට eBay එකේ විකුණුම් කරුවෙකු ලෙස Dropshipping කරගෙන යාමට හැකියාව පවතී. ව්‍යාපාරයක් සිදු කරන සියලු දෙනාගේ බලාපොරොත්තුව වන්නේ මුදල් උපයාගැනීම යි. එනම් අතථ්‍ය අවකාශය තුළ සිදුවන මෙම ව්‍යාපාර ක්‍රියාවලියේ මුදල් ලබා ගැනීමට නම් PayPal account එකක් අවශ්‍ය වේ. PayPal account එක විකුනුම්කරුගේ බැංකු කාඩ් පතට link කිරීමක් සිදුකර ඉන්පසුව PayPal account එකට විකුණුම්කරුගේ eBay selling account එක link කළයුතු වෙනවා. PayPal ගිණුම සම්බන්ධව අනිවාර්යයෙන්ම සිදුකළ යුතු කාර්යය වන්නේ E-mail account එක සහ බැංකු කාඩ් එක verify කර ගැනීමයි.

අප මෙම Dropshipping ක්‍රියාවලිය සරලව මෙසේ සඳහන් කළද, මෙය අප සිතන ආකාරයෙන් ඉතා පහසු හෝ කිසිදු වැඩක් නොකර මුදල් ලබාගත හැකි මායාවක් වැනි දෙයක් නොවන බව තරයේ මතක තබා ගත යුතුය. එනම්, ඒ සඳහා වෙහෙසී, ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයක් සිදු කොට අප එයට යොමු විය යුතුමය. ඔබ අලුතින් මෙම Dropshipping සඳහා යොමු වීමට සිතන අයෙක් නම්, ඔබ මුලින්ම මේ පිළිබඳව අධ්‍යයනයක් කොට එයට යොමු වීමෙන්, Dropshipping ක්‍රියාවලිය තුළදී මුහුණ පෑමට සිදු විය හැකි ගැටළු වලට සාර්ථකව මුහුණ දී සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට මග පාදා ගත හැක.

Please watch in Fullscreen

person
person
person
shareShare this article