free counter statistics


BOC UK

යුරෝපයේ මෙතක් ඉදි වූ සුවිසල් ම තොරණ මෙවර එක්සත් රාජධානියේ දී

personඡායාරූප සහ වීඩියෝ බන්දුල මානගේ - සටහන: ආදිත්‍ය මිල්ලන්ගොඩ

“පොසොන් සඳයි සඳ කිරණයි - මහින්ද මා හිමි වැඩියයි. ලකදිව සත හට එළියයි - බුදු හිමි දම් කඳ ලැබුණයි...”

ක්‍රිස්තු පූර්ව 236ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින මිහින්තලා මස්තකයට ඉහළින් ලංකාදීපයට පෑයූ ඒ මහින්ද මහ රහතන් වහන්සේ නම් වූ පොසොන් සඳ එදා ලක්දිව පුරා විහිදුවාලූ බුදුදම් කඳ අද වන තෙක් ලක් ජනයාගේ ජීවිත සංවර කරවමින්, පෝෂණය කරවමින් නොනැසී පවතී. ලෝ පුරා විසිරි ලක් බොදු ජනයා ද මව් රටෙන් පිට සිටියද තම සංස්කෘතිය, උරුමය අත නොහැර මෙම උතුම් වූ පොහොය දිනය සිහිපත් කරනු වස් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් වල නියැලේ.

එලෙස එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික බොදු බැතිමතුන්, කොරෝනා ව්‍යසනය අවසන් වීමත් සමඟම එළඹෙන්නා වූ මෙවර පොසොන් පොහොය නිමිති කරගනිමින් ආමිස පූජාවට මුල් තැන දෙමින් යුරෝපයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඉදි වූ විශාලතම තොරණ ඉදි කොට ඇත. එය කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අභියස දර්ශනීය තොරණ රාජයෙක් ලෙස ඉදිව ඇත්තේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති "අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ" පූර්ණ මගපෙන්වීම සහ අනුශාසකත්වය යටතේ ය.

ස්වර්ණ හංස ජාතක කතා වස්තුව දිග හැරෙන 2022ක් වූ පොසොන් මස 10 වන දින ප්‍රදර්ශනය ඇරඹි මෙම දර්ශනීය තොරණ රාජයා 14 වන පොසොන් පොහෝ දින දක්වාත්, 17 සිට 19 වන දා දක්වාත්, 24 සිට 28 වන දා දක්වාත් රාත්‍රී 7.30 සිට මහජන ප්‍රදර්ශනයට විවර කෙරේ.

Address: 309-311, Kingsbury Road, Kingsbury, London, NW9 9PE Telephone: 0208 204 3301

බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව බැතිමතුන් මෙම තොරණට ලබා දෙන්නා වූ සියළු ආධාර මුදල් මහරගම අපේක්ෂා රෝහලට සහ ලංකාව පුරා විසිරි වකුගඩු රෝගයෙන් පෙළෙන ජනයාගේ සුඛ විහරණය උදෙසා යෙදවීම තුළින් එම ආධාර ලබාදුන් පිංවතුන්ට නැවත වරක් පිං අනුමෝදන් කරගැනීමට අවස්ථාවක් උදාකර දීමට සංවිධායක මඩුල්ල කටයුතු සකස් කොට ඇත.

ජුනි 10 විවෘත කිරීමේ උත්සවය සඳහා ගලයායේ පියදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ආචාර්ය අකුරටියේ නන්ද හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සමන්ත පතිරණ මහතා අමුතන් රැසක් සහභාගී විය.

මෙවන් පිංකම් කරමින් එදා මිහිඳු හිමියන් මිහින්තලා පව්වට ඉහළින් පැතිර වූ පොසොන් සඳ කිරණ තවත් චිරාත් කාලයක් ලෝ පුරා විහිදුවාලීමට කටයුතු කිරීමට අවශ්‍ය සම්මා දිට්ඨිය, සම්මා වායාමය පහළ වේවා යි සේසත සංස්කාරක මඩුල්ලේ අපි සැම මේ පිංබර පොසොන් පොහෝ දිනයේ දී ප්‍රාර්ථනා කර සිටිමු...

බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තොරණේ බුදුරුව නිරාවරනය කිරීම

ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සමන්ත පතිරණ මහතා තොරණේ විදුලිය විවත කිරීම

ආචාර්ය අකුරටියේ නන්ද හිමි තොරණේ විදුලිය විවත කිරීම


shareShare this article