HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share
 
 
ලංඩනය සෙලවුණු ඒ ඉරිදා හැන්දෑව.....
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික කලා සංසදය වෙනුවෙන් චන්දන ගුණසේකර
Pictures by Tissa Madawela
 
ලංඩනයේ එවන් දවසක් , එවන් සවසක් , එවන් දසුනක් මම මීට පෙර දැක නොමැත්තෙමි. එවන් කැපවීමක්, එවන් උනන්දුවක්, එවන් ප්‍රබෝධයක් මට දැනී නොතිබුණි. එවන් රසයක් මම කිසිදා විඳ නොතිබුණි.
ලංඩන් අහස සෙලවී උදෑසනම වට මල් වරුසා තණපත් අතර පිනි බිඳු තවරද්දී වැහි වළා දෙබෑ කරමින් පායා ආ හිරු කිරණින් ඒ පිනි , මිණි බවට පෙරළිණි. මම ලංඩනයේ ගත කළ වසර විස්සක දිඟු කාලයේම එවන් ලස්සන අහසක් දැක නොතිබිණි. ඒ අහසේ තැවරී තිබුණේ " රස"යි. කලාවේ රසයි. කලාවට හිතැති ලේ , ඇට , මස් , නහරයෙන් සැදි සැබෑ මිනිසුන්ගේ හද ගැහෙනා රාවයයි. පුදුමයට මෙන් එදා ඒ සොඳුරු හදවත් එකට යාවී හැඬවූ රාවය ලංඩනයේ, කින්ග්ස්බරි පුරවරයේ , කින්ග්ස්බරි උසස් විද්‍යාල ශාලාවේ බිත්ති කම්පනය කරන්නට සමත් විය. දැනුණේ එකම රසයයි. වින්ඳේ එකම සුවයයි. හැමුවේ එකම සුවඳයි. ඒ අති උත්තම කලාවේ රසයයි.
මාස දෙකක් වැනි කෙටි කලක් තුළ කලාවට උන්මාද වූ දොළොස් දෙනෙකුගේ ප්‍රයත්නයෙන් මෙවැනි මහා ප්‍රාතිහාර්‍යයක් පෑ හැකිද?
එයයි රසේ රහස. කලා රසයේ රහස. මඳක් ඉවසන්න සහෘදයනී , මම මුල සිටම ඔබට එය පවසන්නම්.
මීට මාස දෙකකට පෙරාතුව ලංඩන් වාසී කලාහිතකාමීන් පිරිසක් විසින් පිහිටුවාගත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික කලා සංසදයේ කැඳවුම්කරු වීමේ භාග්‍ය මට ලැබිණි. අපේ කණ්ඩායමට සිටියේ දොළොස් දෙනෙකි. එහෙත් එහි දස මහා යෝධයන්ගේ ශක්තිය තිබිණි.
කලාව හුදෙකලාවූ , දුරු රට තනිවූ නිමේෂයේ මෙම එකමුතුව අපව අමුතුම ලොවකට රැගෙන යාමට සමත් විය. කලාවට ඇති භක්තිආදරය නිසාම ඇරඹි අප සංසදයේ මංගල පියවර ලෙස , සාහිත්‍ය මාසයට සමගාමීව " රස " නමින් කළා මංගල්‍යයක් පැවැත්වීමට තීරණය කෙරිණි.
අප එදාම වැඩ පටන් ගතිමු. අපට යටි අරමුණු නොතිබිණි. හදේ ගැඹුරුම තැනින් කලාව වෙනුවෙන් උපන් ප්‍රේමය මිට මොළවාගත් අපට යෝදබල යෝධ ශක්තිය ඇති බව හැඟුණි.
අපට වියදම් කරන්නට ප්‍රාග්ධනයක් නොතිබිණි. අනුග්‍රාහකයන් නොසිටියහ. එහෙත් කලාව මුදලට පාවා නොදී හිස් අතින් අප වැඩට බැස්සෙමු. අත හිස් වුවද හදවත පිරී තිබිණි.
අපේ කණ්ඩායමට අයත් වූ පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන් ඇතුළු සැවොම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හා තමන් සතු කුසලතාවයන්ගෙන් රස උළෙල රස ගැන්වීමට එකා මෙන් වැඩ කිරීම අපගේ ඉදිරි ගමනට වැටුණු ශක්තිමත් අඩිතාලමක් විය.
ලංකාවෙන් විද්වතකු, ප්‍රධන කථිකයා ලෙස ගෙන්වා ගැනීමට තීරණය වුණි. බොහෝ බාධක මධ්‍යයේ එය සඵල කර ගැනීමට හැකිවූයේ අපේ වැඩ පිළිවෙළට ලැබුණු වෙස්වලාගත් ආශීර්වාදයක් ලෙසිනි. ඒ මහාචාර්‍ය සමන්ත හේරත් මහතාට එංගලන්තයට පැමිණීමට වීසා ලැබීමෙනි.
අප දොළොස් දෙනාගෙන් සහ තවත් කලාවට ආදරය කරන කිහිපදෙනෙකුගේ ආධාරයෙන් රස , රස ගැන්වීමේ ශාලාව ලෙස කින්ග්ස්බරි උසස් විද්‍යාලීය ශාලව වෙන් කරවා ගැනීමට අපට හැකිවුණි.
ඉන්පසුව උළෙල රස ගන්වන තවත් අංග ලෙස පොත් සල් පිල හා ගද්‍ය , පද්‍ය, චිත්‍ර හා ඡායාරූප තරඟයක්ද ඊට එක් කෙරිණි.
පැමිණෙන රසවතුන්ගේ කුස ගිනි නිවීමට අප සංසදයේ ලේකම්තුමන්, අජන්ත වීරසේකර සහෝදරයාගේ අනර්ඝ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස මඤ්ඤොක්කා, කට්ට සම්බෝල සහ ගා ගත් පොල් ද පානය සඳහා රණවරා තැම්බූ වතුර හකුරු සමඟද සැපයීමට තීරණය වුණි.
ඊයේ දිනය ඇරඹුණේ මේ සියලුම කටයුතු වල බර අපගේ කරමත තබාගෙනය. ඊට අමතරව බැනර මුද්‍රණය, ආරාධනා පත්‍ර මුද්‍රණය, තරඟයේ ජයග්‍රාහකයන්ට සහ සහභාගීවූවන්ට පිදෙන සහතික පත්‍ර මුද්‍රණය සහ තවත් විශේෂිත වූ කාලීන අවශ්‍යතාවයක් සඳහා පිදීමට සම්මාන ඵලක සෑදීමද ලහි ලහියේම නිම කරවා ගැනීමට සිදුවිය.
උදෑසනම අප වැඩ ඇරඹුවෙමු. පිරිසක් වේදිකාව සැරසූහ. තවත් අය ධජ හා පතාක එල්ලීමට සහය දුන්හ. ඒ අතර කුස්සියේ පැවතියේ පුංචි යුද්ධයකි. කිහිප දෙනෙකු මඤ්ඤොක්කා කැපූහ. සමහරෙකු පොල් ගෑහ. තවත් පිරිසක් ලූණු කැපූහ. තවත් සහෘදයින් කණ්ඩායමක් පන්කොල වට්ටි මත නෙළුම් කොළ ඇතිරූහ.
තව පිරිසක් ලොවෙහි නන්දෙසින් අප වෙත එවන ලද නිර්මාණ, ප්‍රදර්ශනය සඳහා සූදානම් කළ අතර පිරිසක් පොත් සල්පිල සැකසූහ. ඒ වනවිටත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්‍යාලයේ අධ්‍යාපන හා සංස්කෘතික අංශයේ මහත්වරුන් විසින් ඒ නිර්මාණ අතුරින් ජයාග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා දී තිබිණි.
යොදාගෙන තිබූ වෙලාවටම නොහැකි වූවත් සුළු ප්‍රමාදයකින් පසුව " රස" ඇරඹිණි. ප්‍රධාන දේශකතුමන් වූ ලංකාවේ සිට අප උළෙලටම පැමිණී මහාචාර්‍ය සමන්ත හේරත්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් තුමන් සහ අපගේ විශේෂිත වූ සම්මානයට පාත්‍රවන කලාවට අනඟි මෙහෙයක් කළ සම්මාන ලාභීන්ද මඟුල් බෙර වාදනය මධ්‍යයේ ශාලව වෙත මහත් හරසරින් කැඳවාගෙන එනු ලැබිණි.
ඉන්පසුව චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන මඟුල් බෙර වාදනය මධ්‍යයේ දැල්වීමට විශේෂ අමුත්තන්ට ආරාධනා කරන ලද්දේ කොළඹ ආනන්දයෙන් බිහිවූ තවත් විශිෂ්ට ආනද පුතකු වූ දක්ෂිණ බෝධිනායකයන් විසිනි.
ඉන්පසුව ඇරඹියේ කලාවට අධිපති සරස්වතී දේවිය පූජා අභිනන්දනයයි. එංගලන්තයේම උපත ලද අපගේ දියණියන් පිරිසක් එය ඉතාමත්ම ලගන්නාසුලු ආකාරයෙන් රඟදැක්වූයේ සැමගේම නෙත් අඟට සතුටු කඳුළක් එක් කරමිනි.
නැටුමින් අනතුරුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික කලා සංසදයේ සභාපතිතුමන්, විජේරත්න බංඩාර මහතාගේ කථාවද ඉන් අනතුරුව අපගේ කලා සංසදයේ අනුශාසක පූජ්‍ය කෝන්වැවේ අරියරතන ස්වාමින් වහන්සේගෙ දේශනයද අවසානයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන්, සුගීස්වර ගුණරත්න මහතාගේ හරවත් දේශනයද පැවැත්විණි. විජේරත්න බංඩාර මහතා තම කතාව අවසන් කළේ ඉතාමත්ම මනරම් කවි දෙකකුත් ගායනා කරමිනි. පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන් මෙවැනි කලා සංසදයක කාලීන අවශ්‍යතාවය පැහැදිලි කළ සේක.
අපගේ මෙම කලා සංසදය ආරම්භ කිරීම ඇගැයූ නියෝජ්‍ය මහ කොමසාරිස් තුමා මෙය මෙතැනින් නතර නොවී ඉදිරියටම ගෙන යාමට සුභාෂිංෂණයද කළේය.
ඉන් අනතුරුව වේදිකාව ඒකාලෝක කරමින් මනරම් සංකලන නර්තනය වේදිකා ගත විය. එහි රැඟූ දු දැරියන් පුරුදු පුහුණු කළ හා බෙර වාදනයෙන් සහය වූ ලංඩනයට මිණි පහන් වන් වූ නර්තනවේදී අත්තනායක යුවළ මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුමය .
ඉන්පසුව එළැඹියේ ලංඩනයේ මෙතෙක් කලකට නොවූ අපූරු සිදුවීමකි. එනම් එදා , ලංකාවේ කලාවේ උන්නතිය උදෙසා තම කාලය, ශ්‍රමය හා හැකියාව කැප කළ ප්‍රවීණයන් සතර දෙනෙකුට ඒ කළා වූ සේවය අගයා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික කලා සංසදය විසින් පිරිනැමෙන සම්මාන ප්‍රධානයයි. මෙහිදී සම්මාන ප්‍රදානයට පෙරාතුව ඔවුන් කළ සේවයට හේතු පාට කීම සඳහා වේදිකාවට කැඳවාගනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී හා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකා හා අප කලා සංසදයේ ක්‍රියාකාරී කමිටු සාමාජිකා අනෝමා වත්තලදෙණිය මහත්මියවයි. අප එදා රූපවාහිනියෙන් අසා තිබූ ඒ මනරම් පහන් හඬින් ඒ හේතු පාට ඈ කියද්දී ඇසට කඳුළක් නොනැඟි ප්‍රේක්ෂකයෙකු සොයා ගත නොහැකි විය.
චිත්‍රපට අධ්‍යක්ෂක හා අප කලා සංසදයේ ක්‍රියාකාරී කමිටු සාමාජික නුවන් ජයතිලක සොයුරා ඉතා විචිත්‍රව සහ අතිගාම්භීරත්වය ඉස්මතුවන අයුරින් තැනූ රූපරාමු හා හඬ පට පෙළක් තිරයේ දිස්වෙද්දී ඒ සම්මාන ලාභීන් වේදිකාව මතට කැඳවාගෙන එනු ලැබිණි.
ඒ අති උත්කර්ෂවත් මොහොත වේදිකාවේ පිටුපස අඳුරු කොනකට වී බලා සිටි මගේ දෑස් බොඳවී යනු දැනිණි. ඒ මාද එවැනිම තත්වයට පත්වූ සිය ගණනක් සහෘදයන් හා එක් වෙමිනි.
මුලින්ම සම්මානයෙන් පුද ලද්දෙ නාවලගේ කරුණාරත්න මහතායි. පනහෙ දශකයේ ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු වූ එතුමා විසින් ගැයූ " ප්‍රිය ආදරි නාවේ ඇයි" ගීතය පසුබිමින් වාදනය වෙද්දී එතුමන් නියෝජ්‍ය මහා කොමසාරිස් තුමන් අතින් තමන්‍ට හිමි සම්මානය භාර ගනු ලැබුවේ මුළු ශාලාවම එකම සුසුමක සිරකරලමිනි. එතුමා අක්ෂර මුද්‍රණ ශිල්පියෙකු වශයෙන් හා චිත්‍ර ශිල්පියෙක් වශයෙන්කළ සේවයද ඇගයිණි.
දෙවැනියට සම්මානයෙන් පිදුම් ලද්දේ ප්‍රවිණ වේදිකා හා චිත්‍රපට රංගන ශිල්පියකු හා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන ගාමිණී අබේසිංහයන්ය. එතුමා නාට්‍ය හා චිත්‍රපට කලාවට කළ සේවය ඇගයිණි.
ඉන්පසුව ප්‍රවීණ සංගීතවේදී සරත් ප්‍රානාන්දු මහතා සම්මානයට පාත්‍ර විය. එතුමන් ගම්පෙරළිය, විරාගය වැනි නිර්මාණවලට හා තවත කළා කෘති රාශියක් සඳහා තැනූ අමරණීය තනු ඇගැයීමට ලක්වුනි.
අවසාන වශයෙන් එදා රිදී තිරයේ සුරතලා නමින් විරුදාවලා ලත් ළමා නළුවකු වූ තිලක් පුෂ්පකුමාරයන් සම්මානයෙන් පිදුම් ලැබීය. පනහෙ දශකයේ එතුමා සුදෝ සුදු හී රඟපෑ අන්ධ දරුවාගේ භූමිකාව ඇතුළු එතුමන් සහය අධ්‍යක්ෂණයෙන් සහය වූ චිත්‍රපට ඇගැයීමට ලක්විය.
පැමිණවුන් රසික කැල ඉතාමත්ම සංවේදීභාවයට පත් කිරීමට මෙම සම්මාන ප්‍රදානය සමත් වූ අතර සම්මානලාබ‍න්ගේ දෑස් සතුටු කඳුළින් පිරී ඇති අයුරු බොඳ වූ දෙනෙතින් මට යන්තමින් දැක ගත හැකිවිය.
සම්මාන ප්‍රදානයෙන් අනතුරුව රස කළා උලෙළේ කූටාප්‍රාප්තිය වූ මහාචාර්‍ය සමන්ත හේරතුන්ගේ දේශනය ඇරඹිණි. එතුමන් හරවත් සහ ඉතාමත් ඔනෑකමින් පැවැත්වූ ඒ දේශනයේ කලාව, කලාවේ විඳීම, ගීතය, නාට්‍යය, ප්‍රේමය හා මානව සම්බන්ධතා හා කලාවේ ඇති සම්බන්ධය යන කාරණා පිළිබඳව මොනවට පැහැදිලි කෙරිණි. දේශනය අතරතුර වාදනය වූ ගීත ඛණ්ඩයෝද රසිත සිත් සතන් පුබුදුවාලීමට සමත් විය. කාල වේලාව මදි වීම නිසා එතුමන්ගේ දේශනය කෙටි කරන්නට සිදුවූවත් එතුමන් අප වෙත ගෙනදුන් පණිවුඩයට එයින් අබමල් රේණුවකවත් පාඩුවක් නම් සිදු නොවුණි..
ඉන් අනතුරුව අත්තනායක නර්තනවේදියා රඟ දැක්වූ ' ගිනි සිසල ' නර්තනය නරඹන්නන් කුල්මත් කිරීමට සමත් විය.
අවසාන අංගය ලෙස මහාචාර්‍යතුමන් අතින් ගද්‍ය, පද්‍ය හා චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ට සම්මාන ප්‍රදානයෙන් අනතුරුව අප කලා සංසදයේ ලේකම්තුමන්, අජන්ත වීරසේකර මහතා ඉතාමත්ම කෙටියෙන් තම ස්තූති කතාව පැවැත්වීය.
ඉන් අනතුරුව ජාතික ගීය ගායනය කළ අතර උත්සවයේ වැඩ ඉතාමත්ම සාර්ථක අයුරින් එතැනින් අවසන් විය.
කාල වේලාව මද කම නිසා ඇතිවූ හදිසි තත්වයෙන් විවේක කාලය සැලසුම් කළ පරිදි මහාචාර්‍යතුමාගේ දේශනයෙන් පසුව ගැනීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් පිළියෙල කොට නෙළුම් කොළවලට බෙදා තිබූ ප්‍රණීත මඤ්ඤොක්කා භෝජනය සැමටම එකට වාඩිවී භුක්ති විඳීමේ අවස්ථාව මඟ හැරිණි. එසේම 350 කටත් වඩා කලාකාමී ජනතාවගේ පැමිණීමද හේතුවෙන් පසුව කෑම ගැනීමට ගිය පිරිසට අපට සිතූ පරිදි සංග්‍රහ කර ගැනීමට බැරිවිය. ඒ පිළිබඳව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය වෙනුවෙන් මගේ බලවත් කනගාටුව.
එසේම අපට මුදලින් හා ලුණු භිකක් ශුද්ධ කිරීමේ සිට එහි තිබූ සියලුම වැඩ රාජකාරි සඳහා තම කාලය හා ශ්‍රමය කැප කළ අපගේ සියලුම සහෝදර සහෝදරියන්ටත්,අපගේ ආරාධනය පිළිගෙන වැඩම කළ මහා සංඝ්‍යාවහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ටත් , නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන් ඇතුළු මහා කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරි මහතුන්ටත්, සම්මානලාභී ප්‍රවීණ කලා කරුවන්ටත් හා අවසාන වශයෙන් පහුගිය සති කිහිපයේම දිවා රෑ නොබලා තම ශක්ති ප්‍රමාණයෙන් මේ කළා මංගල්‍යය සාර්ථක කර ගැනීමට වෙහෙස වූ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික කලා සංසදයේ සාමාජික සමාජිකාවන්ටත් මගේ හද පිරි භක්ති ප්‍රණාමය පුදකරමි. නම් වශයෙන් සඳහන් කොට ස්තූති කිරීමට අපහසු වීම පිළිබඳව මගේ කණගාටුවද මේ සමඟම පළ කරමි.
සියලුම වැඩ අවසන් කොට ඇතිවූ වෙහෙස මහන්සිය හා උදේ පටන්ම වතුර පොදක් හෝ නොමැතිව ඇතිවී තිබූ කුස ගින්දර , සාර්ථක වූ වැඩ පිළිවෙළ හා පැමිණ තිබූ විශාල ජනකාය ගැන සිතීමෙන් මම සංසිඳුවා ගතිමි.
වටින් ගොඩින් අඳුර වැටීගෙන ආ ඒ සැඳෑ යාමයේ ලංඩන් අහසේ අවපසට යමින් තිබූ සඳේ ඡායාවක් හෝ පෙනෙන්නට නොතිබුණද ඉතාමත්ම තෘප්තිමත් හැඟීමෙන් අහස දෙස බැලූ මට වෙනදා නොදුටු විශාල තාරකාවක් අප දෙස බලා සිටිනු දක්නට ලැබිණි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK