ලන්ඩන් රූපවාහිනී ළමා සමාජය කල එළි දුටු වගයි

ලන්ඩන් මුතුහර මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් නිෂ්පාදනය කොට වසර 36ක් පුරාවට අඛණ්ඩව ඉදිරිපත් කල සහ ලංකාවේ එතෙක් මෙතෙක් විකාශණය වන දීර්ඝතම ළමා වැඩසටහන වන මුතුහර රූපවහිනි ළමා සමාජයේ 2515 වැනි ශාඛාවේ කල එලි මංගල්‍යය පසුගිය නොවැම්බර් 24 (2018) දින ලන්ඩන් රෙඩ්බ්‍රිජ් හි විලියම් ටෝර්බිට් විදුහලේ දී පැවැත්විණි.

මේ උළෙලේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වුයේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් තැන්පත් සුගීශ්වර ගුණරත්න මහතා සහ මහා කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු භාර ලේකම් සමන්ත කුරේ යන මහත්වරුන් ය. රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරයේ විහාරාධිපති ධුරන්දර ගරු කටයුතු ශාස්ත්‍රපති පූජ්‍ය පෙතිගමුවේ හේමරතන නායක ස්වාමින්වහන්සේ ද මෙම උත්සවයට වැඩමකොට වදාළ සේක. මීට අමතරව ගෞරවනීය අමුත්තන් රැසක් ද, කලායතන කිහිපයක නියෝජිතයින් ද දෙමාපිය වැඩිහිටියන් රැසක් ද මෙම උත්සවයට සහභාගී විය.

මෙම අවස්ථාව ඉතා සුවිශේෂ වූයේ දියත් කෙරුණු මෙම මුතුහර ළමා සමාජය මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම යුරෝපයේ ද ප්‍රථම මුතුහර රූපවාහිනී ළමා සමාජය වීමයි. මුතුහර මේ වනවිට ජාත්‍යන්තර වී ඇති අතර ඕස්ට්‍රේලියාවේ ළමා සමාජ 4 ක් ද, දෝහා කටාර් රාජ්‍යයේ එක් ළමා සමාජයක් ද මේ වනවිට ආරම්භ වී ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතරම තවත් රටවල් කිහිපයකම නව මුතුහර රූපවාහිනී ළමා සමාජ ආරම්භ කිරීමේ ලා කටයුතු සම්පාදනය වෙමින් පවතී.

අංක 2515 ලන්ඩන් මුතුහර ළමා සමාජය ආරම්භ කොට එහි සංවිධායිකාව වශයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රුපවාහිනී මුතුහරේ ද ආරම්භක සාමාජිකාවක් වන මුදිතා මුණසිංහ මහත්මියයි. ලන්ඩන් මුතුහරේ ගරු අනුශාෂිකා වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂිකා ප්‍රවීණ ජනමාධ්‍යවේදිනි අනෝමා වත්තලදෙනිය මහත්මියයි. ලන්ඩන් මුතුහරේ සාමාජික දරු දැරියන්ගේ දෙමාපිය සංසදය විසින් ළමා සමාජ කටයුතු සංවිධාන සහය ඉටු කරනු ලබයි.

මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් ගේ ලාංකික අනන්‍යතාව වර්ධනය කොට ලංකාව පිලිබඳ දැනීම වැඩවීමත්, එතුලින් ලංකාවට ඇල්මක් ඇති කරවීමත්, සිංහල භාෂා මෙන්ම සංස්කෘතික කලා අංග පිලිබඳ දරුවන්ට දැනුමක් ලබා දීමත්, විශේෂයෙන් ම නොරටක ඉපිද හෝ ජීවත් වීම තුලින් අපේ දරුවන්ට අහිමිවන ලාංකික අපේකම නැවත ලබා දීමත්, ශ්‍රී ලාංකීය අභිමානය ලොවට දායාද කරවීමට උත්සුක කරවීමත් අංක 2515 ලන්ඩන් මුතුහර රූපවාහිනී මුතුහර ළමා සමාජය ආරම්භ කිරීමෙහි අනුයාත අරමුණු වූ බැව් මුතුහර සංවිධායිකා මුදිතා මුණසිංහ මහත්මිය ප්‍රකාශ කලා ය. තවද, මෙය මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම වරට සිදු වූවක් වන අතර මින් පෙර ශ්‍රී ලාංකික දරුවන් සඳහා මෙවැන්නක් සංවිධානය වී නොමැති බැවින් මෙය ඉතිහාසගත වනු ඇත.

ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් හට මෙම අනගි අවස්ථාව ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටත්, ගරු සභාපති තුමා /තුමිය ටත්, ළමා හා අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා එරින් විජේකෝන් මහත්මියටත්, මුතුහර නිෂ්පාදක උදාන්ත ගුණතිලක මහතාටත් ලන්ඩන් මුතුහරේ කෘතඥතාව හිමි වියයුතු බව එහි සංවිධායිකා මුදිතා මුණසිංහ මහත්මිය ප්‍රකාශ කලා ය.

මුතුහර සංකල්පයේ නිර්මාතෘ හා ආරම්භක වන්නේ ආචාර්ය ලලිතා සිරිබද්දන මහත්මියයි. එතුමියට ලොව පුරා මුතුහර දරු දැරියන්ගේ ගෞරවය හිමි විය යුතු ය.

ලන්ඩන් මුතුහර රූපවාහිනී ළමා සමාජයේ රැස්වීම් සෑම මසකම පළමුවන සහ තුන්වන සෙනසුරාදා පස්වරු 3 සිට 5.30 දක්වා ලන්ඩන් රෙඩ්බ්‍රිජ් හි St John’s Centre, St Johns Road, Seven Kings, Ilford, ,IG2 7BB පැවැත්වේ. එමෙන්ම දෙවැනි සෙනසුරාදා පස්වරු 3 සිට 5.30 දක්වා චෙම්ස්ෆොර්ඩ් හි North Avenue Christian Church (CM 1 7AL ) හි දී පැවැත්වේ. මේ අතරම ලන්ඩනයේ අනෙකුත් ප්‍රදේශයන් හි සිටින දරුවන් ගේ පහසුව පිණිස ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ දී ද මුතුහර ලන්ඩන් රැස්වීම් වාරයක් සෑම මසකම පැවැත්වීමට කටයුතු යොදාගෙන යනු ලබයි.

මුතුහර ලන්ඩන් රූපවාහිනී ළමා සමාජයේ නව සාමාජිකත්වය මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකික සම්භවයක් සහිත වයස 9-19 අතර සියලු දරුවන්ට විවෘත වන අතර, නව සාමාජිකත්ව විමසීම් පහත විද්යුත් මේල් මගින් කල හැක. Email: muthuharalondon@gmail.com